නිව්යෝක් ක්‍රීඩාංගණයට ලෝක කුසලාන සත්කාරකත්වයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2024

670
විස්සයි විස්ස ලෝක කුසලානය 2024

ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දිය කොදෙව් සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී, නැගෙනහිර නිව්යෝක් නුවරට නුදුරින් පිහිටි ප්‍රේක්ෂකයින් 34,000කට අසුන් ගත හැකි ක්‍රීඩාංගණයකට තරග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

තරගාවලියේ වැඩිම අවධානය දිනා ගන්නා තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා.

මෙම ක්‍රීඩාංගණය සඳහා අවසර ලබා දීමට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරීන් සහ නිව්යෝක් බලධාරීන් අතර වෙනත් ක්‍රීඩාංගණයක් සෑදීමට සාකච්ඡා පවත්වා තිබුනත්, ප්‍රදේශවාසීන්ගෙන් සහ ක්‍රීඩා කණ්ඩායමකින් එල්ල වූ බලපෑම් නිසා එම සැලසුම් අතහැර තිබුණා.

ඇමරිකා එක්සත් ජනපදය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙන අතර එහි මාධ්‍ය වටිනාකම ලොව හොඳම රටවල් අතරට එක් වන බව ඔවුන් විශ්වාස කරනවා.

එම වටිනාකම් ක්‍රිකට් ක්‍රීඩාවට එක් කිරීම සහ ඇමරිකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඉක්මනින් ප්‍රචලිත කිරීම මෙම සත්කාරකත්වය ලබා දීමේ අරමුණයි.

නමුත් ඇමරිකාව තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් නිවැරදි ලෙස නොමැති වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කනස්සල්ලට හේතු වී තිබෙන අතර එරට තුළ ස්ථීර විදුලි ආලෝක පවතින ක්‍රීඩාංගණ ඇත්තේ ද එකක් පමණයි.

මෙම ගැටලු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිරාකරණය කර ගැනීමට අවශ්‍ය වන අතර මෙම තරගාවලියේ දී ඇමරිකා එක්සත් ජනපදයට තරග 20ක් ලබා දීමට සැලසුම වී තිබෙනවා.

ඒ අනුව 2024 ලෝක කුසලානයේ නිව්යෝක් නගරයට අමතරව සත්කාරකත්වය හිමිව තිබෙන්නේ Florida සහ Dallas නගරවලටයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<