එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා සමුගැනීමේ තීරණය ආපසු හරවයි

අළුබඳුන තරගාවලිය 2023

1593
Moeen Ali considering Test comeback

ටෙස්ට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය වෙනස් කරමින් නැවතත් අළුබඳුන තරගාවලියේ දී ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Moeen Ali තීරණය කර තිබෙනවා.

දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු 2021 වසරේ දී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ අතර එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන ක්‍රීඩක Jack Leach ආබාධයකට ලක් වීම නිසා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු නැවතත් කණ්ඩායමට එක් වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

අවසන් කාලසීමාවේ එංගලන්ත කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන්නා වූ Jack Leach හට පිට කොන්දේ ඇති වූ ආබාධයක් නිසා අළුබඳුන තරගාවලියේ සියලු තරග අහිමි වෙනවා.

ටෙස්ට් තරග 65ක් එංගලන්තය නියෝජනය කරමින් ලකුණු 2914ක් සහ කඩුලු 195ක් දවා ගැනීමට සමත් වූ Moeen Ali සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් ලබා දීමට ටෙස්ට් පිටියෙන් සමු ගන්නා බව නිවේදනය කළා.

ඉන්දීය කණ්ඩායම සමඟ 2021 වසරේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී ඔහු අවසන් වරට එංගලන්ත ටෙස්ට් සංචිතය නියෝජනය කළ අතර එය ඔහුගේ අවසන් පළමු පෙළ තරගය වීම ද විශේෂත්වයක්.

එම සමුගැනීමෙන් පසු එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් 2022 විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත් වූ Ali, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනූ චෙන්නායි කණ්ඩායම ද නියෝජනය කළා.

Jack Leach කණ්ඩායමෙන් ඉවත් වීම එංගලන්ත කණ්ඩායමට දැඩි පාඩුවක් වන අතර ඔහු නව නායක Ben Stokes යටතේ සහභාගී වූ සියලු තරග නියෝජනය කළා. එමෙන්ම අවසන් කාලසීමාවේ ලෝක ටෙස්ට් පිටියේ වැඩිම පන්දුවාර ගණනක් යවා ඇති ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් පිටියේ තරග 11කට Ali සහභාගී ව තිබෙන නමුත් ඔහුට දවා ගැනීමට හැකිව ඇත්තේ කඩුලු 20ක් පමණක් වන අතර ඔහුගේ සාමාන්‍ය ලකුණු 64.65ක් ලෙස සටහන් වෙනවා.

නැවත ටෙස්ට් සංචිතයට එක් වීම සහ පන්දු යැවීම ගැන අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ටෙස්ට් පිටියට සමුදීමෙන් පසුව ඔහුගේ පන්දු යැවීම හොඳම මට්ටමට පැමිණෙමින් තිබෙන බවයි.

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලිය ජුනි 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

සුප්‍රකට අළුබඳුන තරගාවලිය ඇතුළු ලෝක ටෙස්ට් පිටියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

Espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<