ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් වරමක් ලැබෙන ලකුණු

282

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ ආසන්නතම අවස්ථාවකට පැමිණීමට යොවුන් ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි සමත්ව තිබෙනවා.

මෙම මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ආසියානු ජ්‍යෙෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාවය අවලංගු වීමත් සමඟ මිල්කාගේ වර්තමාන දත්තවලට අනුව ඇයට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට විශාල අවස්ථාවක් මේ වන විට හිමිව තිබෙනවා.

ලෝක ශූරතාවයේ ප්‍රතිඵලවලට අනුව මිල්කා මේ වන විට ආසියානු කලාපයේ පළමු තැන පසුවන අතර ඉන්දීය ක්‍රීඩිකා Pranthi Nayak දෙවැනි ස්ථානයේ පසු වේ. යම් හෙයකින් අන්තර්ජාතික ජිම්නාස්ටික් සම්මේලනය ලෝක වර්ගීකරණය යටතේ ඔලිම්පික් සුදුසුකම් ලබා දීමට කටයුතු කළහොත් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාටම ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් හිමි වෙනවා

නමුත් මේ පිළිබඳව නිල වශයෙන් කිසිදු දැනුවත් කිරීමක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදු කර නොමැති අතර මිල්කා ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ පුවත පිළිබඳව ThePapare.com අප වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සම්මේලනයේ උසස් නිලධාරියෙකු පැවසුවේ,

“මෙම ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම පිළිබඳව කිසිදු නිල වශයෙන් තහවුරු කිරීමක් තවමත් ලැබිලා නැහැ. නමුත් ඇයට එම අවස්ථාව හිමි වීමට විශාල අවස්ථාවක් තියෙනවා. මිල්කා ආසියාවේ පෙරමුණ ගනිමින් ඔලිම්පික් සුදුසුකම් ලබා ගත්තා යනුවෙන් පැතිරෙන පුවත අසත්‍ය එකක්.

කොරෝනා වසංගතය නිසාවෙන් ආසියානු ශූරතාවය අවලංගු කිරීමට සිදු වුනා. එම නිසා එහි ප්‍රතිඵලවලින් ඔලිම්පික් සුදුස්සන් තෝරන්න බැහැ. ඒ ලෝක ශූරතාවයේ ප්‍රතිඵලවලට අනුව ආසියානු ඔලිම්පික් සුදුස්සන් තෝරන්න අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට හැකියාවක් තියෙනවා.

ඒ අනුව මිල්කට ඉතාමත් ඉහළ අවස්ථාවක් තිබෙනවා ඔලිම්පික් සුදුසුකම් ලබාගන්න. ඉන්දියානු ක්‍රීඩිකා Pranthi Nayakට ද එම ක්‍රමය යටතේ ඔලිම්පික් වරම් හිමි වෙනවා, ඒත් තවමත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් කිසිදු නිල තහවුරු කිරීමක් ලැබිලා නැහැ.”

පිළියන්දල ප්‍රදේශයේ උපත ලබා ඇති මිල්කා ජාතික ශූරයෙකු වූ රන්ජන් තරංග මහතාගේ අනුදැනුම යටතේ පුහුණුවීම් කටයුතු ආරම්භ කළ අතර කුඩා කළ සිටම ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ඉහළ දස්කම් දැක්වීමට ඇය සමත්ව තිබෙනවා.

පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මිල්කා පසුව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ අතර එයින් කෙටි කලකට පසු ඇයට කොළඹ Methodist විද්‍යාලයට ඇතුළත් වීමට වරම් හිමිව තිබෙනවා.

කුඩා කල සිටම ජිම්නාස්ටික් ඉසව්වේ සහජ දස්කම් දැක්වූ ඇය වයස අවුරුදු 8 දී ජාතික කනිෂ්ඨ ශූරිය පවා වීමට ද සමත්ව තිබෙනවා. එමෙන්ම 2014 කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හයවැන්නා ලෙස සිය ඉසව්ව අවසන් කිරීමට ඇය සමත්ව තිබෙනවා.

තවත් ක්‍රීඩා පුවත්:

2017 සහ 2018 වසරවල ජාතික ශූරිය වීමට සමත් වූ ඇය මෙරට නියෝජනය කරමින් අන්තර්ජාතික තරගාවලි රැසකට ද සහභාගී වී තිබෙනවා. 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී අටවැන්නා ලෙස ඇය තරගය අවසන් කළේ මෙරට ක්‍රීඩිකාවක් වාර්තා කළ ඉහළම දස්කම වාර්තා කරමින්.

එමෙන්ම 2018 වසරේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඇය කලාපීය වාර්තාවක් පිහිටුවීමට ද සමත්ව තිබෙනවා.

එම දස්කම් නිසාවෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහයෙන් ජපානයේ පුහුණු ශිෂ්‍යත්වයක් ලැබූ මිල්කා ගෙහානි මේ වන විට ජපානයේ පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටිනවා.

යම් හෙයකින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ලෝක ශූරතාවයේ ප්‍රතිඵලවලට අනුව ඔලිම්පික් සුදුසුකම් ලබා දීමට කටයුතු කළහොත් Mathilda Karlssonට පසු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2021 ඔලිම්පික් වරම් හිමිකරගත් දෙවැනි ක්‍රීඩිකාව වීමට ඇයට හැකි වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<