ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායමේ නායකත්වය විශ්මිට

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ ඉන්දීය සංචාරය 2022

399

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ බාලිකා සිව්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායිකාව ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නව නම් කර තිබෙනවා.

නම් කරන ලද බාලිකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්ව සිටින අතර එහි උපනායිකාව ලෙස පත් කර ඇත්තේ රත්නාවලී බාලිකා විද්‍යාලයේම දෙව්මි විහංගා ක්‍රීඩිකාවයි.

විශ්මි, ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩිකාවක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර දෙකකට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 9කට ද විශ්මි ක්‍රීඩා කර තිබෙනවා.

විශ්මිට අමතරව රත්නාවලී බාලිකා විදුහලෙන් තවත් ක්‍රීඩිකාවන් තිදෙනකු ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර, උමායා රත්නායක, දෙව්මි විහංගා සහ විදූශිකා පෙරේරා එම ක්‍රීඩිකාවන් වෙනවා.

ඔවුන්ට අමතරව බාලිකා කණ්ඩායමට වැඩිම ක්‍රීඩිකාවන් පැමිණ සිටින අනෙක් පාසල වන්නේ රත්ගම දේවපතිරාජ විදුහලයි. එම පාසල නියෝජනය කරමින් ද ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු පැමිණ සිටින අතර, සංජනා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, සුමුදු නිසංසලා සහ විහාරා සෙව්වන්දි එම ක්‍රීඩිකාවන් වෙනවා.

ඊට අමතරව, මාතර අනුර විදුහල නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් තිදෙනෙක්, මොරටුව වේල්ස් කුමරි විදුහල නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, වාද්දුව මධ්‍ය මහා විදුහලින් සහ නුගේගොඩ අනුලා විදුහලින් එක් ක්‍රීඩිකාවක් බැගින් මේ නම් කරන ලද ශ්‍රී ලංකා බාලිකා ජාතික කණ්ඩායමට ඇතුළත්.

ශ්‍රී ලංකාවට අමතරව මෙම තරගාවලියේ දී ඉන්දියාව නියෝජනය කරමින් ‘A’ සහ ‘B’ වශයෙන් කණ්ඩායම් දෙකක් සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් බාලිකා කණ්ඩායම් සහභාගි වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සටන මෙම මස 13 වැනිදා ඉන්දීය ‘B’ කණ්ඩායමට එරෙහිව Vizag හිදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ සියලුම තරග Vizag හිදී පැවැත්වෙන අතර අවසන් මහා තරගය මේ මස 19 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරග වරම දිනා ගනු ඇති.

මෙම තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා බාලිකා යොවුන් කණ්ඩායම අද (11) පස්වරුවේ දී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත අතර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන මේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකා සංචිතය – විශ්මි ගුණරත්න (නායිකාව – රත්නාවලී බාලිකා විදුහල, ගම්පහ), දෙව්මි විහංගා (උප නායිකාව – රත්නාවලී බාලිකා විදුහල), සංජනා කාවින්දි (දේවපතිරාජ ජාතික පාසල, රත්ගම), උමායා රත්නායක (රත්නාවලී බාලිකා විදුහල), රශ්මි නේත්‍රාංජලී (දේවපතිරාජ බාලිකා විදුහල), රශ්මිකා සෙව්වන්දි (අනුර විදුහල, මාතර), මනුදි නානායක්කාර (වේල්ස් කුමරි විදුහල, මොරටුව), සුමුදු නිසංසලා (දේවපතිරාජ ජාතික පාසල), පමෝදා ශයිනි (අනුර විදුහල), විදුශිකා පෙරේරා (රත්නාවලී බාලිකා විදුහල, ගම්පහ), දුලංගා දිසානායක (අනුලා විදුහල, නුගේගොඩ), රිෂ්මි සංජනා (අනුර විදුහල, මාතර), නෙත්මි සේනාරත්න (වාද්දුව මධ්‍ය මහා විදුහල), හරිනි පෙරේරා (වේල්ස් කුමරි විදුහල), විහාරා සෙව්වන්දි (දේවපතිරාජ ජාතික පාසල), ශෂිකලා සිරිවර්ධන (ප්‍රධාන පුහුණුකාරිණිය), ඉන්ද්‍රානි ආරියරත්න (කණ්ඩායම් කළමනාකාරිණිය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<