Mathildaගේ ඔලිම්පික් බාධා ඉවතට

246

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට තේරී පත්ව සිට එම අවස්ථාව අහිමි වූ අශ්වාරෝහක ක්‍රීඩිකා Mathilda Karlsson හට නැවත ඔලිම්පික් තරගාවලිය සහභාගි වීමේ වරම් හිමිව තිබෙනවා.

ඇය විසින් Court of Arbitration for Sports වෙත ඉදිරිපත් කළ අභියාචනාව සලකා බලමින් ඇයට එම අවස්ථාව නැවත ලබා දීමට අදාළ බලධාරීන් තීරණය කර තිබෙනවා.

2019 දෙසැම්බර් මාසයේ පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගවල දී දැක්වූ දස්කම් නිසාවෙන් ප්‍රසාද ලකුණු 350ක් ලබාගෙන අග්නිදිග ආසියානු සහ සාගර කලාපයේ ක්‍රීඩිකාවන් අතර දෙවැනි තැනට පත්වෙමින් ඔලිම්පික් වරම් දිනා ගන්නට Mathilda සමත් වුනා.

නමුත් 2019 දෙසැම්බර් මාසයේ ප්‍රංශයේ පැවති තරග ක්‍රීඩක වර්ගීකරණයට අදාළ නොවන බවත්, ඒවා අනුමත වී තිබුණේ අත්වැරදීමකින් නිසා බවත් ප්‍රකාශ කරමින් අන්තර්ජාතික අශ්වාරෝහක සංගමය විසින් එම තරගාවලිය ක්‍රීඩක වර්ගීකරණයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

එම නිසාවෙන් සිය ප්‍රසාද ලකුණු අහිමි වීමත් සමඟ Mathilda හට සිය ඔලිම්පික් අසුන අහිමි වූ අතර ඇය විසින් මේ පිළිබඳව ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය (Court of Arbitration for Sports) වෙත අභියාචනා ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව සිදු කළ නඩු විභාගයෙන් අනතුරුව ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය විසින් Mathildaගේ අභියාචනාව පිළිගනිමින් ඇය වෙත අහිමි වූ ඔලිම්පික් සුදුසුකම ලබා දීමට තීරණය කර තිබුණා.

තවත් ක්‍රීඩා පුවත්:

ඒ අනුව මෙරට නියෝජනය කරමින් 2021 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ පළමුවැන්නා ඇය වන අතර ඇය ඔලිම්පික් තරගාවලියේ “Show Jumping” ඉසව්ව නියෝජනය කිරීමට නියමතයි.

මෙරට උපත ලබා පසුව ස්වීඩනය වෙත සංක්‍රමණය වූ Mathilda අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කරමින් ලොව පුරා සංචාරය කළ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවකි.

2018 වසරේ දී නැවත මෙරට පුරවැසිභාවය ලබා ගැනීමට කටයුතු කළ ඇයගේ ප්‍රධාන ඉලක්කය වුනේ මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<