ඔලිම්පික් සැමරීමට නව අර්ධ මැරතන් තරගයක්

273

මෙම වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇති ඔලිම්පික් උළෙලේ අභිමානය සංකේතවත් කිරීම උදෙසා ලබන වසරේ දී (2022) අර්ධ මැරතන් තරගයක් ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට ජපන් බලධාරීන් තීරණය කර තිබෙනවා.

Celebration Marathon ලෙස හඳුන්වන මෙම අර්ධ මැරතන් තරගය 2019 වසරේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානි Thomas Bach විසින් යෝජනා කර තිබූ අතර එය ක්‍රියාවට නැංවීමට ඊයේ පැවති රැස්වීමක දී තීරණය කර තිබුණා.

අධික උණුසුම් කාලගුණයෙන් ඇති වන බලපෑම වළක්වා ගැනීමට ඔලිම්පික් මැරතන් තරග ටෝකියෝ නගරයෙන් කිලෝමීටර් 800 දුරට ගෙන යාම පිළිබඳව ඇතිවූ මතභේදාත්මක සාකච්ඡා අතරතුර දී Bach මෙම අදහස ඉදිරිපත් කර තිබෙනවා.

මෙම අර්ධ මැරතන් තරගය ඔලිම්පික් උළෙල සැමරීමට මෙන්ම ටෝකියෝ නුවර පදිංචි වැසියන් කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීමට ගනු ලැබූ ක්‍රියා මාර්ගවලට සහයෝගය දැක්වීම පිළිබඳව සිය කෘතඥතාව පළකිරීම වෙනුවෙන් ද යොදා ගැනීමට තීරණය කර තිබේ. 

එමෙන්ම මෙම තරගාවලිය සඳහා ආබාධිත ධාවකයන් ඇතුළු බොහෝ තරගකරුවන්ට සහභාගී වීමට පහසු අයුරින් සංවිධානය කිරීමට ද ජපාන බලධාරීන් පොරොන්දු වී තිබෙනවා.

තවත් ක්‍රීඩා පුවත්:

මීට අමතරව එම තරගාවලියට සහය දැක්වීමක් ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ප්‍රධාන පෙලේ ක්‍රීඩකයන් සහ මෙම වසරේ ඔලිම්පික් මැරතන් තරගයේ පදක්කම්ලාභීන් මෙම තරගාවලියට එක්කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානී Thomas Bach සහභාගී වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

මෙම අර්ධ මැරතන් තරගයට සමගාමීව ඔලිම්පික් උළෙල ප්‍රවර්ධනයට සහ තරුණ පරම්පරාව ක්‍රීඩාවට යොමු කරවා ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් රාශියක් පැවැත්වීමට ද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සැලසුම් කර තිබෙනවා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<