පළමු IPL කිරුළ වෙත යෑමට RCB නව පුහුණුකරුවෙක් යටතට

IPL 2024

3805
Mike hesson disappointedly leave rcb while andy flower join

IPL තරගාවලිය නියෝජනය කරන Royal Challengers Bangalore කණ්ඩායමේ මෙහෙයුම් අධ්‍යක්ෂක ධුරය දැරූ Mike Hesson ප්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලය සිය වගකීම් වලින් ඉවත් කරමින් Andy Flower ප්‍රමුඛ නව කාර්ය මණ්ඩලයක් RCB සමඟ එක් කර ගැනීමට තීරණය කර තිබෙනවා. 

මෙහි දී Hessonට අමතරව මෙතෙක් කල් RCB ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Sanjay Bangar සමඟ තිබූ කොන්ත්‍රාත්තුව ද අලුත් නොකිරීම මගින් ඔහුව ද RCBහි වගකීම් වලින් ඉවත් කර තිබෙනවා. 

මෙම ඉවත් කිරීම් වලින් පසුව, නිමා වූ 2022 සහ 2023 IPL තරගාවලි වල දී Lucknow Super Giants කණ්ඩායම සමඟ කටයුතු කළ Andy Flower හට RCB ප්‍රධාන පුහුණුකාරීත්වය හිමි වීමට නියමිතයි. 

” පසුගිය තරගවාරය අවසන් වීමෙන් පසුව සිදු කළ කණ්ඩායම් සමාලෝචනයට අනුව ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂක Mike Hesson සහ ප්‍රධාන පුහුණුකරු Sanjay Bangarගේ කොන්ත්‍රාත්තු අලුත් නොකිරීමේ තීරණය RCB විසින් තහවුරු කර ඇත. 

එමෙන්ම පසුගිය තරගවාර හතර සඳහා ඔවුන් RCB වෙනුවෙන් ලබා දුන් සියලු උත්සාහයන් වෙනුවෙන් කණ්ඩායම සිය කෘතඥතාව පළ කර සිටිනවා.” 

මෙම ඉවත් කිරීම් සම්බන්ධයෙන් RCB විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුණා. 

2017 – 2019 කාලය තුළ අසාර්ථක තරග සමයක් පසු කරමින් සිටි RCB කණ්ඩායම 2020 වසරේ පටන් Hesson ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක් යටතට පත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කණ්ඩායම 2020-23 කාල සීමාව තුළ අවස්ථා තුනක දී IPL Play-Off තරග වටය තෙක් පිවිසීමට සමත් වුනා.  

නමුත් මෙම වසරේ දී ඔවුන් තරගාවලියේ නිමා කලේ ලකුණු සටහනේ 6 වැනි ස්ථානයට පත් වීමත් සමඟයි. 

මේ අතර නිල කාලය අවසන් වූ පසු තවදුරටත් තමන්ට RCB සමඟ රැඳී සිටීමට අවකාශයක් නොමැති බව තහවුරු වීමෙන් පසුව Hesson විසින් සිය Instagram ගිණුම හරහා තම සමුගැනීමේ පණිවුඩය මෙසේ සටහන් කර තිබුණා. 

 

View this post on Instagram

 

A post shared by Mike Hesson (@hesson_mike)

” පසුගිය තරගවාර 4 තුළ අවස්ථා තුනක දී Play-Off තරග වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට හැකි වුව ද, බොහෝ ක්‍රීඩකයින්, සහය කාර්ය මණ්ඩලය, කණ්ඩායම් රසිකයින්ට මෙන්ම මට ද අවශ්‍ය වූ කුසලානය දිනා ගැනීමට අපිට හැකි වුනේ නැහැ. 

RCB හැර යාමට සිදු වීම කලකිරීමට පත් කරවන සුලු වුව ද, ක්‍රීඩා පිටිය තුළ මෙන්ම ඉන් පිටත දී ද ශ්‍රේෂ්ඨ පුද්ගලයින් සමඟ වැඩ කිරීම් පිළිබඳ මට හොඳ මතකයන් රැසක් තිබෙනවා. 

මෙම අවස්ථාව වෙනුවෙන් මම කණ්ඩායම් කළමනාකාරිත්වයට ස්තුතිවන්ත වන අතර, RCB නව පුහුණු කාර්ය මණ්ඩලයට ද මගේ සුබපැතුම් එක් කරනවා.” 

එමෙන්ම මෙම සටහන මගින් ඔහු RCB රසිකයින් ව විශේෂයෙන්ම මතක් කරමින් ඔවුන්ට සිය ස්තුතිය පුද කර සිටියා. 

හිටපු LSG පුහුණුකරු ලෙස සැලකිය යුතු තරම් සාර්ථකත්වයක් පෙන්වීමට මෙන්ම, PSL, The Hundred සහ ILT20 තරගාවලි වල දී පවා සිය පුහුණුකාරීත්වය යටතේ තිබූ කණ්ඩායම් ශූරතාව දිනනවා බලා සිටීමට හැකි වූ, සාර්ථක වූ පුහුණුකරුවකු ලෙස සැලකෙන Andy Flower යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට IPL ශූරතාවක් ජයග්‍රහණය කිරීමට RCB කණ්ඩායම සමත් වේ දැයි අනාගතයේ දී දැක බලා ගත හැකි වනු ඇත. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<