කවිඳු ජයවික්‍රම ප්‍රමුඛ කළුතර විද්‍යාලය එක්දින සටනත් ජය ගනියි!

398

කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ප්‍රචලිත පාසල් ද්විත්වයක් වන කළුතර විද්‍යාලය සහ තිස්ස විද්‍යාලය අතර පාසල් මහා ක්‍රිකට් තරගය නිමා වූයේ ඊයේ (30) දිනයේ දීයි.

මැංගුස් සටන ලෙසින් ප්‍රසිද්ධියක් උසුලන මෙම තරගය කඩුලු 5කින් ජය ගත්තේ කළුතර විද්‍යාලයයි. ඉන් නොනැවතුනු ඔවුන් අද (31) පැවති එක්දින තරගය ද කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ පිට පිටම වසර 5කදී පැවති එක්දින තරග ජයගෙන සිටි තිස්ස විද්‍යාලයේ ජයග්‍රහණ රැල්ලට තිත තබමිනි.

ඩී. එස්. පිළේ අපරාජිත වාර්තාව රැකදෙමින් රන් සටන නිමාවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ද්විත්වයක් වන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවති 13 වැනි රන් සටන අද (30) නිමා වූයේ ජය…

වසර 70ක පමණ දීර්ඝ සහ අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන මැංගුස් සටනේ දී අපට හමුවන වීරයින් ගණනාවකි. ඒ අතුරින් පාසල් සමයේ දී දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසාවෙන්ම ජාත්‍යන්තරය ජය ගත් ක්‍රීඩකයින් අතර තිලකරත්න ඩිල්ශාන්, මිලින්ද සිරිවර්ධන, මාලිංග බණ්ඩාර යන නම් ඉදිරියෙන්ම කියවේ.

නමුත් විද්‍යාලය දෙක අතර එක්දින තරග ඇරඹී තවමත් වැඩිකල් ගතවී නොමැති අතර මෙවර මග්ගොන සරේ විලේජ් පිටියේ දී ක්‍රියාත්මක වූයේ එහි 11 වැනි දිග හැරුමයි. දෙදින ක්‍රිකට් තරගවල වැඩි ගෞරවය කළුතර විද්‍යාලය සතුවී තිබුණ ද මීට පෙර 8 වතාවක්ම එක්දින තරග ජය තහවුරු කරගෙන තිබුණේ තිස්ස විද්‍යාලයයි.

Photos: Kalutara Vidyalaya vs Tissa Central College – 11th One Day Encounter

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් කළුතර විද්‍යාලයේ නායක කවිඳු ජයවික්‍රම තීරණය කළේ මුලින් පන්දුව අතට ගැනීමටයි. ඔහුගේ මෙම තීරණයට හේතු වූ ප්‍රධානතම කරුණ වූයේ පසුගිය දින දෙකේ දී මෙම තණතිල්ල පන්දු යවන්නන්ට උචිත අන්දමින් හැසිරීමයි. ඒ අනුව තිස්ස විද්‍යාලය අඩු ලකුණු ගණනකට සීමා කර ගැනීමට හැකි වුවහොත් තම පිතිකරුවන්ට එම ඉලක්කය හඹා යාම සඳහා වැඩි කාලයක් සහ නිදහසක් ලැබෙන බව කළුතර විද්‍යාලයේ නිගමනය වන්නට ඇත. එය සම්පූර්ණයෙන්ම නිවැරදි බව තහවුරු කරමින් අද තිස්ස විද්‍යාලයේ ඉනිම ලකුණු 147කට නිමාව දිටීය.

තණතිල්ලේ සහය අඩුවීමත් කළුතර විද්‍යාලයේ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ තිස්ස පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 30 සීමාවටවත් ළඟා වීමට හැකි වූයේ නැත. අංක 3 පිතිකරු ලෙස කටයුතු කළ ඔශේන් මින්දන් අද තම විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 26ක් රැස්කර ගනිමිනි.

කළුතර විද්‍යාලයේ කවිඳු නායකත්වයේ වගකීම මැනවින් ඉටු කරයි

පසුපෙළ පිතිකරුවෙකු ලෙස රසාංජන අරවින්ද ලකුණු 22ක් රැස්කර නොගන්නට තිස්ස විද්‍යාලයේ ඉරණම මීටත් වඩා භයානක වන්නට ඉඩ තිබුණි. සුපිරි පන්දු යැවීමක යෙදුණු දිලීප් අරුනෝද සහ නායක කවිඳු ජයවික්‍රම කඩුලු 4 බැගින් තමන් අතරේ බෙදා ගත්තේ තිස්ස විද්‍යාලයේ ආධාරකරුවන්ට බියකරු එක්දින තරග මතකයක් එක් කරමිනි.

ඒ අනුව තරගයේ පළමු අර්ධය අති සාර්ථකව නිමා කරගත් කළුතර විද්‍යාලයට ඉතිරිව තිබුනේ මෙම කුඩා ඉලක්කය හඹායෑම පමණි. ඒ සඳහා ද පන්දුවාරයකට ලකුණු වේගය 3කටත් අඩුවෙන් අවශ්‍ය වූ නිසා කළුතර විද්‍යාලයට මෙම ඉලක්කය සපුරා ගැනීමට කිසිදු බාධාවක් නොවීය.

මාලිංග දවසකට කලින් ලංකාවට එයි

එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් වූ මිණුම් දණ්ඩක් ලෙස යොදා…

මුල්පෙළ පිතිකරුවන් පරීක්ෂාකාරීව පන්දුවට පහර දෙමින් ඒ සඳහා පදනම සැකසීය. ඊයේ දිනයේ දී වසර 8කට පසුව පාසල් මහා ක්‍රිකට් තරගයක ජය කළුතර විද්‍යාලයට ලබා දීමට පෙරමුණ ගත් නායක කවිඳු ජයවික්‍රම එක්දින තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ද උපරිම දායකත්වයක් දක්වමින් නොදැවී ලකුණු 50ක් රැස් කළේය.

තම නායකයා සමඟ එක්වුනු අවිශ්ක ලක්ෂාන් තරගයේ නිමාව දක්වාම නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 25ක් රැස් කළේය. අවසානයේ පන්දුවාර 36යි පන්දු 4ක් අවසානයේ කළුතර විද්‍යාලය ලකුණු 148ක් ලබා ජය තහවුරු කරගන්නා විට ඔවුන්ගේ දැවී ගොස් තිබුණේ කඩුලු 3ක් පමණි. ඒ අනුව කඩුලු 7ක විශිෂ්ට ජයක් කළුතර විද්‍යාලය සතු විය.

මෙවර මහා ක්‍රිකට් තරගය සහ එක්දින තරගය ජය ගැනීම සඳහා කවිඳු ජයවික්‍රම තම නායකත්ව ලක්ෂණ මෙන්ම තුන් ඉරියව් දක්ෂතා ද මැනවින් ප්‍රකට කළ අතර ඒ වටා එකම පොකුරක් ලෙස එක්වූ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් ද මෙම ජයග්‍රහණයන්ගේ කොටස්කරුවන් බවට පත්වූහ.

තිස්ස විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 147 (පන්දුවාර 39.2) ඔශේන් මින්දන් 26, රසාංජන අරවින්ද 22, දිලීප් අරුනෝද 4/23, කවිඳු ජයවික්‍රම 4/29.

කළුතර විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 148 (පන්දුවාර 36.4) කවිඳු ජයවික්‍රම 50*, මිහිඳු සිල්වා 28, අවිශ්ක ලක්ෂාන් 25*, ඩිශාර ප්‍රනාන්දු 24.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<