තර්ස්ටන් සහ වේල්ස් කුමර ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව වටයට

1371
Singer U19 Schools Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ අද (28) පැවති තරග සංඛ්‍යාව දෙකකි. එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූහ. මෙම තරග දෙකේම ජයග්‍රහණය සත්කාරක පාසල් සතු වීමද විශේෂත්වයක් විය.

ලසිත උඩගේ කඩුලු 7කින් දිනය නිමා කරයි

ලසිත උඩගේ විසින් දියත් කල දක්ෂ පන්දු යැවීම හා ශිහාන් ප්‍රනාන්දුගේ ශතකය වෙත අවධානය යොමු වූ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අද (28) අවසන් විය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය

තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල තර්ස්ටන් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම විද්‍යාලය සතු කර ගත්තේය. ඒ අනුව ඉනිම ඇරඹූ තර්ස්ටන් පිතිකරුවන් සාර්ථක පිතිකරණයක යෙදෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 293ක් රැස් කළහ. තර්ස්ටන් ඉනිමේ වැඩි බරක් ඉසිලූ  චරණ නානායක්කාර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 92ක් රැස් කළේය. පෞද්ගලිකව තම ශතකය කරා ලඟා වන්නට නොහැකි වූවත් චරණ ඒ වනවිටත් තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් තම යුතුකම් කොටස ඉටුකර තිබුණි.

ලකුණු 294ක දැවැන්ත ඉලක්කයක් යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා පිටියට පිවිසි ඩී. එස්. පිතිකරුවන් වේගවත් පහරවල් කරා යොමු වීමට උත්සාහ දැරූවත් ලකුණු වේගය වැඩිවීම වෙනුවට ඉන් සිදුවූයේ කඩුලු දැවී යාමේ වේගය වැඩි වීමයි. ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ගිහාන් ගුණසේකර වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 36ක් රැස් කලත් එය ජයග්‍රහණය සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවීය. පන්දුවාර 31ක් අවසානයේ ඩී. එස්. සේනානායක ඉනිම ලකුණු 116කට සීමා වූයේ ඒ අනුවයි. මෙම ජයග්‍රහණයත් සමගින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 293 (පන්දුවාර 50): චරණ නානායක්කාර 92, ඉමේෂ් විරංග 67*, යෙශාන් වික්‍රමාරච්චි 56, ඩැනියෙල් ගීතාංජන 2/61.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 116 (පන්දුවාර 31): ගිහාන් ගුණසේකර 36, නිපුන් ලක්ෂාන් 3/03.


කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තරගය

සාන්ත පීතර විද්‍යාලය සත්කාරකත්වය ඉසිලූ මෙම තරගයේදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩකයින් තමන්ට හිමි පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 239ක් රැස් කළහ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ලක්ෂිණ රොද්‍රිගෝ ලකුණු 87ක් වාර්තා කිරීමට සමත් විය. රන්මිත් ජයසිංහ ලකුණු 52යි. පන්දුවාර යැවීමේදී ඩිලංක මධුරංග ලකුණු 45කට කඩුලු 3ක් බිඳ හෙලීය.

ලකුණු 240ක ඉලක්කයක් හඹාගිය මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පන්දුවාර 30යි පන්දු 2ක් ගතවෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 205ක් ලබාගෙන සිටි නිසා කඩුලු 4ක ජයග්‍රහණයක් ඔවුන් සතුවිය. වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වුනු දිලංක මධුරංග පිත්තෙන්ද සාර්ථක වෙමින් ලකුණු 57ක් රැස් කරද්දී විශ්ව චතුරංග ද අර්ධ ශතකයක හිමිකරුවෙකු බවට පත්විය. මෙම ජයග්‍රහණයත් සමගින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

සාන්ත පීතර විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 239 (පන්දුවාර 50): ලක්ෂිණ රොද්‍රිගෝ 87, රන්මිත් ජයසිංහ 52, සලිත් ප්‍රනාන්දු 46, දිලංක මධුරංග 3/45, සංජය ප්‍රනාන්දු 2/21.

වේල්ස් කුමර විද්‍යාලය – කඩුලු 6ක් දැවී ලකුණු 205 (පන්දුවාර 30.2): දිලංග මධුරංග 57, විශ්ව චතුරංග 56, අවිඳු ප්‍රනාන්දු 33, තිලාන් නිමේෂ් 21*, රවිඳු සිල්වා 2/54.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට