2020 Hall of Fame විශිෂ්ටයින් නම් කෙරේ

162

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙනු ලබන ICC Hall of Fame සම්මානය ජැක් කලිස්, සාහීර් අබ්බාස් සහ ලීසා ස්ටේල්කර් හට ලබා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා සිටියි. ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිදු කිරීම සඳහා ඇලන් විල්කින්ස්, සුනිල් ගවස්කාර්, මෙල් ජෝන්ස් සහ ශෝන් පොලොක් නම් කරන ලදි.

ජැක් කලිස් එතෙක් මෙතෙක් ලොව බිහි වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් අයෙකු වන අතර ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙන විට ටෙස්ට් ලකුණු 13,289ක්, එක්දින ලකුණු 11579ක් සහ පන්දු යැවීමෙන් තරග රටාවන් දෙක තුලම කඩුලු 250ක් දවාගෙන ඇත. කලිස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් දැනට වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරුවා වන අතර ඔහුට ටෙස්ට් ශතක 45ක් ද ඇත. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 55.37කි.

“ICC Hall of Fame සම්මානය දිනා ගැනීමට හැකි වීම ගැන මට ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි. මම ක්‍රීඩාව ආරම්භ කරන කොට හිතුවේ නැහැ ක්‍රීඩාව හරහා මට මෙච්චර දුර එන්න පුළුවන් වෙයි කියලා. නමුත් අද වෙනකොට මම ක්‍රීඩාවෙන් සමුගෙන හිටියත්, මං ගැන ලෝකයා කතා වෙන තැනකට ගෙන්න මට පුළුවන් වුනා. කැපවීම සහ විශ්වාසය තියෙනවා නම් ඒක කරන්න පුළුවන්” යැයි කලිස් මේ සම්මානය දිනා ගැනීම පිළිබඳව මාධ්‍ය වෙත පවසන ලදි.

තවත් ක්‍රිකට් පුවත්: 

2009 වසරේ දී හඳුන්වා දුන් Hall of Fame සම්මාන ඉතිහාසය තුල ක්‍රිකට් ක්‍රීඩිකාවක් විසින් සම්මාන දිනාගෙන ඇත්තේ අට වතාවක් පමණි. එහි නව වැනි තැන ලැබුණේ ඉන්දියාවේ උපත ලබා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ලීසා ස්ටේල්කර් හටයි. ඇය 2005 සහ 2013 පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන ශූරතාවය සහ 2010 සහ 2012 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ශූරතාව දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළාය.

ස්ටේල්කර් ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසය තුල ලකුණු 1,000ක් සහ කඩුලු 100ක් දවා ගත් පළමු කාන්තා ක්‍රීඩිකාව වූ අතර ඇය 2013 දී ඕස්ට්‍රේලියාව ලෝක ශූරතාව දිනා ගත් පසුව සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන ලදි.

මම කවදාවත් හිතුවේ නැහැ මේ වගේ සම්මානයක් දිනාගන්න මට පුළුවන් වෙයි කියලා. මොකද මට කලින් මේක දිනාගෙන තිබ්බේ ක්‍රීඩිකාවන් අට දෙනයි. මම ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුලින් මගේ ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ තැනට එන්න මගේ කණ්ඩායමේ මාත් එක්ක එකට හිටපු ක්‍රීඩිකාවන් වගේම මගේ පවුලේ අයත් ගොඩාක් උදව් කළා” යැයි ස්ටේල්කර් මේ සම්මානය දිනා ගැනීම පිළිබඳව පැවසීය.

පාකිස්තානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක සාහීර් අබ්බාස් ටෙස්ට් තරග 78ක් සහ එක්දින තරග 62ක් ක්‍රීඩා කරමින් දස්කම් දක්වන ලදි. ඔහු එම තරග ආකෘති දෙක තුලම ලකුණු 40 ඉක්මවා දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ඇති අතර ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග රටාව තුල ශතක 100ක් ලබා ගත් පළමු ආසියාතික ක්‍රීඩකයා ද වේ.

“2020 ICC Hall of Fame සම්මානය දිනා ගැනීම පිළිබඳව අනෙක් අයට වගේම මට ලොකු සතුටක් තියෙනවා. මම මේ අවස්ථාවේ දී පාකිස්තානු වැසියන්ට, පාකිස්තානයට, මගේ පවුලේ අයට ස්තූති වන්ත වෙනවා” යැයි අබ්බාස් පැවසීය.

ICC Hall of Fame සම්මානයක් මේ දක්වා දිනාගෙන ඇත්තේ එක් ශ්‍රී ලාංකිකයෙක් පමණි ඒ මුත්තයියා මුරලිදරන්යි. ඔහු 2016 වසරේ දී මේ සම්මානය දිනා ගන්නා ලදි. ක්‍රිකට් ලොව එතෙක් මෙතෙක් පන්දු යවන්නෙක් දවා ගත් වැඩිම කඩුලු ප්‍රමාණය සඳහා හිමිකම් කියන්නේ මුරලිදරන්ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<