Birmingham පිහිනුම් තටාකයට යන ශ්‍රී ලාංකිකයන්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

482

පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ කිමිදුම් ක්‍රීඩකයෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජල ක්‍රීඩා කණ්ඩායම 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දස්කම් දැක්වීමට සූදානමින් පසුවනවා.

තරගාවලියේ පිහිනුම් ඉසව් ජූලි 29 වැනිදා සිට අගෝස්තු 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර කිමිදුම් ඉසව් අගෝස්තු 04 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම

FINA ශ්‍රේණිගත කිරීමේ ඉහළම ලකුණු ලබා ඇති ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් සහ ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වනවා.

මීටර් 50 සමනළ ආර, මීටර් 100 පසුපස ආර ඉසව් හි ජාතික වාර්තාවට හිමිකම් කියන අකලංක පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 50 සමනළ ආර සහ මීටර් 50 පසුපස ආර ඉසව් සඳහා ජූලි 29 සහ 31 යන දිනවල දී සහභාගී වීමට නියමිතයි.

වර්තමානයේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන අකලංක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන දෙවැනි අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියේ දස්කම් දැක්වූ අකලංක 2017 Asian Age Group Aquatic Championships තරගාවලියේ රන් පදක්කම් ද්විත්වයක් සහ රිදී පදක්කමක් දිනා ගත් අතර 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගන්නට සමත් වුනා.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  FINA World Championships 2019 සහ 2018 ආසියානු ක්‍රීඩා උළෙල වැනි තරගාවලි තුළ ද දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා.

අකලංකට අමතරව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න මීටර් 100 සහ 200 පසුපස ආර ඉසව් නියෝජනය කරමින් ජූලි 30 වැනිදා සහ අගෝස්තු 01 වැනිදා තරග බිමට පිවිසීමට නියමිතයි.

කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ගංගා මේ වන විට මනෝජ් අබේසිංහ මහතා යටතේ පුහුණුවීම් සිදු කරනවා.

ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් සඳහා සහභාගී වන පළමු අවස්ථාව මෙය වන අතර ඇය මීට පෙර FINA Junior World Championships 2019, FINA SC World Championships 2021 සහ  World School Games 2019 තරගාවලි නියෝජනය කර තිබෙනවා.

මෙම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව පිළිබඳව අදහස් දක්වමින් ජාතික පිහිනුම් පුහුණුකරු ශෙහාන් ඩයස් ප්‍රකාශ කළේ, ඔවුන් දෙදෙනාටම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් පවතින බවයි.

ශ්‍රී ලංකා කිමිදුම් කණ්ඩායම

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිමිදුම් ඉසව්වෙන් දුලංජන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටිනවා.

දුලංජන් Birmingham හිදී සිය පුහුණුවීම් ජූලි 31 වැනිදා ආරම්භ කිරීමට සූදානමින් පසුවන අතර ඔහු 1m springboard සහ 3m springboard ඉසව් නියෝජනය කරමින් අගෝස්තු 04 සහ 06 දිනවල දී තරග බිමට පිවිසීමට නියමිතයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන දුලංජන් වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ Deakin සරසවියේ අධ්‍යාපනය ලබමින් Monica Fly මහතා යටතේ පුහුණුවීම් සිදු කරනවා.

කිමිදුම් ඉසව්ව නියෝජනය කරමින්  FINA World Championships තරගාවලියට සුදුසුකම් ලැබූ සහ ඕස්ට්‍රේලියානු විවෘත ජාතික තරගාවලියට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වූයේ ද දුලංජන්.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ජල ක්‍රීඩා කණ්ඩායම මහින්ද ලියනගේ මහතා විසින් මෙහෙයවන අතර පිහිනුම් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශෙහාන් ඩයස් මහතා කටයුතු කරනවා.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<