නවසීලන්තය අප්සට් කරවන හශාන්ගේ සැලැස්ම

Bangladesh women's team tour to New Zealand 2022

5477

බංග්ලාදේශ පිරිමි කණ්ඩායමෙන් ලැබෙන දක්ෂතා සහ ප්‍රතිඵල දැන්ම කාන්තා කණ්ඩායමෙනුත් බලාපොරොත්තු වීම අසාධාරණ බව පසුගිය නොවැම්බර් 03 වැනිදා කාන්තා කණ්ඩායම් පුහුණුකාරිත්වයේ වැඩ බාර ගත් හිටපු ශ්‍රී ලංකා නායකයා පවසා සිටිනවා.

එමෙන්ම මේ වන විට ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ කණ්ඩායම විසින් දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට නියමිත නවසීලන්තය තරග සංචාරය වෙනුවෙන් පුහුණුවීම් කටයුතුවල නිරත වනවා.

“ඒක ගොඩක් අභියෝගාත්මක කර්තව්‍යයක්, ඒ වගේම මම එය සතුටින් කරන දෙයක්. විශේෂයෙන්ම කාන්තා ක්‍රිකට්, පිරිමි ක්‍රිකට්වලට වඩා තරමක් වෙනස් දෙයක්. ඒ නිසා ඔබ ඔවුන් සමඟ ඉවසීමෙන් කටයුතු කරමින් ඔවුන් ව දියුණු කළ යුතුයි.

ඔබ ඔවුන්ගේ දක්ෂතා වගේම, ඔවුන්ගේ මානසිකත්වය ද අවබෝධ කර ගත යුතුයි. එහෙම වුනොත් ඔබට පුළුවන් ඔවුන් සමඟ වැඩ කරන්න. පුහුණුකරුවෙක් විතරක් ම නෙවෙයි, දෙමාපියන් විදිහට, සහෝදරයෙක් විදිහට සහ යහළුවෙක් විදිහටත් මම ඔවුන් සමඟ කටයුතු කරනවා.

ඔබ නිතරම ඔවුන් සමඟින් ඉන්න ඕන, ඔවුන් සමඟින් කතාබහ කරන්න ඕන සහ ඔවුන්ට අවශ්‍ය විශ්වාසය ලබා දෙන්න ඕන. එතකොට හැමදෙයක්ම හරි තැනට වැටේවි.

ඔව්, අපේක්ෂාවන් තියෙනවා, අපි හැම වෙලාවකම ප්‍රතිඵල ගැන අවධානයෙන් ඉන්නවා. අපි ඔවුන් ව පිරිමි කණ්ඩායම සමඟ සසඳන්න උත්සාහ කරනවා, ඒක අසාධාරණ ක්‍රියාවක්. අපි ඔවුන්ට කතා කළ යුතුයි. ඔවුන්ට තියෙන පීඩනය ගැන අපි දන්නවා ඒ නිසා ඔවුන් සමඟ ඉවසීමෙන් වැඩ කළ යුතුයි.”

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස සිය වගකීම පිළිබඳ අදහස් දක්වමින් හශාන් එසේ පවසා සිටියා.

නවසීලන්ත කණ්ඩායම ඔවුන්ගේ මව්රටේ දීම පරාජය කිරීමේ ශක්‍යතාව තම කණ්ඩායම සතු බව හශාන් විසින් විශ්වාස කරනවා.

එක්දින සහ විස්සයි විස්ස තරගවලින් සමන්විත මෙම තරගාවලිය දෙසැම්බර් 2 වැනිදා සිට 18 වැනිදා තෙක් නවසීලන්තයේ වෙලිංග්ටන්, නේපියර් සහ හැමිල්ටන් හීදී පැවැත්වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම නොවැම්බර් 24 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිත බව cricbuzz වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

“සූදානම් වීම ඉතාමත් හොඳයි, පසුගිය දවස් දෙකේ දී අපි ගෘහස්ථව (indoor) තාක්ෂණික සහ උපායශීලී කරුණු පිළිබඳ වැඩ කළා. දැන් අපි පිටත පුහුණුවීම් (outdoor) සඳහා එන්නයි හදන්නේ. අපිට අපේ විභවයත් සමඟ ක්‍රීඩා කළ හැකි නම් නවසීලන්තය පරාජය කළ හැකි බව මට විශ්වාසයි.

ක්‍රීඩිකාවන් ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් ක්‍රීඩා කරනවා. අපිට මේ ආකාරයෙන් ඉදිරියට යාමට පුළුවන් නම් තරග ජයග්‍රහණය කළ හැකි බව මට විශ්වාසයි.

අපි මේ වන විට විවිධ අංශ පිළිබඳ සාකච්ඡා කරමින් පවතිනවා, ඒ වගේම අපි දන්නවා නවසීලන්තයේ තවත්වයන් මොන තරම් අසීරු ද කියලත්. නමුත් ඔවුන් ඉදිරි අභියෝග පිළිබඳ දන්නවා වගේම ඒවාට මුහුණ දෙන්න සූදානමෙනුයි ඉන්නේ.

ඔවුන්ට නවසීලන්තයේ තත්වයන්ට අනුකූලව හැඩ ගැහෙන්න පුළුවන් වුනොත් මට විශ්වාසයි අපිට ලොකු අප්සට්එකක් කරන්න පුළුවන් කියලා.”

එමෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමට නම් කණ්ඩායමේ පිතිකරණය නිවැරදි කර ගැනීමට සිදු වන බව හශාන් විසින් විශ්වාස කරනවා.

“පන්දු යැවීම සහ පන්දු රැකීම ගොඩක් හොඳයි, අපි පිතිකරණය දියුණු කර ගත යුතුයි. මම ඒ වෙනුවෙන් වැඩ කරමිනුයි ඉන්නේ. ඔවුන් බුද්ධිමත් වගේම දක්ෂයි, ඔවුන්ගේ ප්‍රහාරාත්මක හැකියාව දියුණු කිරීමයි සිදු කළ යුත්තේ. ඒ වගේම පිටියේ හිස්තැන් බලා පන්දුව යොමු කර ලකුණු ලබා ගැනීමට ඔවුන් ව හුරු කරමින් හැකි තරම් නිලකුණු පන්දු ප්‍රමාණය අවම කළ යුතුයි. ක්‍රීඩිකාවන් ඉතාම උනන්දුවෙන් සහ කැපවීමෙන් ඉගෙන ගන්නවා. මේ විදිහට ම ඉදිරියට යා හැකි නම් ඔවුන්ට තරග ජයග්‍රහණය කළ හැකියි.”

මෙවැනි නවතම ක්‍රීඩා  පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<