නගරාධිපති කුසලාන දැල්පන්දු තරගාවලියට කණ්ඩායම් 8ක්!

2022 නගරාධිපති කුසලාන අභියෝගතා මිශ්‍ර දැල්පන්දු තරගාවලිය

211

කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා සහ විනෝදාංශ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ‘නගරාධිපති කුසලාන අභියෝගතා මිශ්‍ර දැල්පන්දු තරගාවලිය’ මාර්තු 24 සහ 25 යන දිනවල කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකක් ඔස්සේ තරග වැදීමට නියමිතයි. එහි දී A කාණ්ඩයෙන් ශ්‍රී ලංකා යුද හමුදා, කෑගල්ල දිස්ත්‍රික්, කොළඹ මහ නගර සභා සහ බස්නාහිර පළාත් යුනයිටඩ් යන කණ්ඩායම් තරග වැදෙද්දී, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකා නාවික, ශ්‍රී ලංකා පොලිස්, අනුරාධපුර දිස්ත්‍රික් සහ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

තරගාවලිය ලීග් ක්‍රමය යටතේ ආරම්භ වී එයින් ප්‍රමුඛ ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන අතර ඔවුන් අතරින් අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් මාර්තු 25 වැනිදා නගරාධිපති කුසලානය සඳහා තරග වදිනු ඇත.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස JAT Holdings කටයුතු කරද්දී, Singer Sri Lanka, Cool Planet, Rowel (PVT) LTD, The Chance Sports සහ Fashion Bug ආයතන සම අනුග්‍රාහකයින් ලෙස තරගාවලිය සමඟින් එක්වනවා.

තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතික පත්‍රවලට අමතරව මුදලින් ත්‍යාග පිරිනැමීමට ද නියමිත අතර එහි දී ප්‍රථම ස්ථානය සඳහා වන ත්‍යාගය Singer Sri Lanka විසිනුත්, දෙවැනි ස්ථානය සඳහා වන ත්‍යාගය The Chance Sports විසිනුත් පිරිනමද්දී, තෙවැනි ස්ථානය සඳහා වන මුදල් ත්‍යාගය කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා සහ විනෝදාංශ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරි සමන් හේවාවිතාරණ මහතා විසින් පිරිනැමීමට නියමිතයි.

ඊට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට පිරිනමන ත්‍යාග මුදල් සඳහා අනුග්‍රාහක දායකත්වය දරණු ලබන්නේ The Chance Sports විසිනුයි.

තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (21) BRC හිදි පැවති අතර එහි දී සභාව ඇමතූ කොළඹ මහ නගර සභාවේ අධ්‍යක්ෂිකා ශෂිනි ඩබ්. ජයනෙත්ති මහත්මිය සඳහන් කළේ, “මේ තරගාවලිය එක් දවසක උත්සාහයේ ප්‍රතිඵලයක් නෙමෙයි, මෙය දීර්ඝ කාලීන උත්සාහයක ප්‍රතිඵලයක්. පසුගිය වසරේ දීත් අපිට තරගාවලිය සාර්ථකව පවත්වන්නට හැකි වුනා. මෙවරත් කොරෝනා වසංගත තත්වය මධ්‍යයේ වුවත් තරගාවලිය සාර්ථකව  සංවිධානය කරන්නට ලැබීම විශාල සතුටක්. මෙවන් අර්බුදකාරී වතාවරණයක් යටතේ තරගාවලිය සඳහා අනුග්‍රාහක භවතුන් ලබා දුන් තල්ලුව විශේෂයෙන් අගය කළ යුතුයි”.

තරගාවලියේ සංයුතිය පිළිබඳව අදහස් දක්වමින් දැල්පන්දු ලේකම් යමුනා සඳමාලි මහත්මිය සඳහන් කළේ, “තරගාවලිය සඳහා අපි කණ්ඩායම් තෝරාගනිද්දී මේ වෙද්දී හොඳින් දක්ෂතා දක්වන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින දක්ෂ කණ්ඩායම් සඳහා අපි ඇරයුම් කළා. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ තරගාවලිය සඳහා ප්‍රසිද්ධ බැංකු කණ්ඩායම් සඳහා ආරාධනා කළත් කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින් ඔවුන් තරගාවලිය සඳහා සහභාගි විය නොහැකි බව දැනුම් දුන් බවයි.

“මිශ්‍ර තරගාවලියක් ලෙස පවත්වන මේ තරගාවලියේ කණ්ඩායම් සංයුතිය පිළිබඳව කතා කළොත් අපි ජාත්‍යන්තර තරග නීති රිතිවලට අනුගත වෙමින් තමයි තරගාවලිය සැලසුම් කරන්නේ. එහි දී ජාත්‍යන්තර අනුමැතිය යටතේ කණ්ඩායමකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ක්‍රීඩා කරවීමට හැකි අතර එහි දී එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් තිදෙනෙකු යොදා ගැනීමට අවස්ථාව හිමිවනවා”, දැල්පන්දු ලේකම්තුමිය සඳහන් කර සිටියා.

ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, තරගාවලිය සියලුම සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන්නට සැලසුම් කර තිබෙන අතර තරගාවලිය ප්‍රේක්ෂකයින්ට විවර කරන්නටත් සංවිධායකයින් කටයුතු සූදානම් කර තිබෙන බවයි.

මාධ්‍ය හමුව සඳහා කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති M. T. M. ඉක්බාල්, අධ්‍යක්ෂිකා ශෂිනි ඩබ්. ජයනෙත්ති, දැල්පන්දු ලේකම් යමුනා සඳමාලි, අනුග්‍රාහක ආයතන නියෝජනය කරමින් එහි ප්‍රධානීන්, කණ්ඩායම් 8 නායකයින් සමඟ කළමනාකරුවන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියා.

තරගාවලියේ අවසන් මහා තරගය 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර තරගාවලිය සජීව ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com අප සූදානමින් පසුවනවා. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<