17න් පහල කිරුළ සෙබස්තියන් විද්‍යාලයට

857
St. Sebastian’s College

සිංගර් ආයතනය මගින් සංවිධානය කරනු ලැබු අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර අද (2) මුවර්ස් පිටියේදී පැවැත්විණි. තර්ස්ටන් විද්‍යාලය පරාජය කරමින් මෙම තරඟය සාන්ත සෙබස්තියන් විද්‍යාලය ජයග්‍රහණය කලේ ලකුණු 141කිනි.

පසුගිය ලිපි: එක්දින සංචිතයේ වෙනස්කම් 3ක්

තර්ස්ටන් විද්‍යාලය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 47කින් පරාජය කරමින් වන අතර මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, සාන්ත පීතර  විද්‍යාලය ලකුණු 17කින් පරාජයට පත්කරමින් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

කාසියේ වාසිය අතැතිව පළමුව පිටියට පිවිසි මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ හා මනරම් ඉණිමක් දියත් කිරීමට නුවනිදු ප්‍රනාන්දු සමත් වූ අතර  ඔහු පිටිය පුරා පිත්තෙන් පහර එල්ල කරමින් තර්ස්ටන් පන්දු යවන්නන්ට අනුකම්පාවකින් තොරව සංග්‍රහ කරන ලදි. ඔහු විසින් සෙබස්තියන් විද්‍යාලයේ ලකුණු පුවරුව, විශිෂ්ට ලෙස ලකුණු 138ක් ලබාගනිමින් ඔසවා තැබීමට සමත් විය. අනතුරුව ඔහු සමඟ එක්වූ තරුශ ප්‍රනාන්දු ලකුණු 42ක් ලබාගන්නා ලදි. තව තවත් තර්ස්ටන් විද්‍යාලයට පීඩනයක් එල්ල කරමින් ප්‍රවීන් කුරේ ලකුණු 39ක් සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් රැස්කරන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය 262-5 (50) නුවනිදු ප්‍රනාන්දු 138, තරුශ ප්‍රනාන්දු 42, ප්‍රවීන් කුරේ 39, නිපුන් ලක්ෂාන් 2/48, යෙශාන් වික්‍රමාරච්චි 2/52

ලකුණු 263ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට දෙවනුව පිටියට පැමිණි තර්ස්ටන් විද්‍යාලයේ පිතිකරුවන්ට එම ඉලක්කය සුවපහසු එකක් කිරීමට විනුජ රණසිංහ ඇතුළු සෙබස්තියන් විද්‍යාලයේ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත. නමුත් එම ගැටලුකාරී තත්ත්වය මොහොතකට වෙනස් කරගත් නිමේෂ් පෙරේරා මෙම තරගයේ දී තර්ස්ටන් විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 40ක් තම පාසල් නාමය ඉදිරියෙන් ලකුණු පුවරුවේ සටහන් කිරීමට සමත් වුවද, ඒ වන විටත් සෙබස්තියන් විද්‍යාලයේ ජයග්‍රහණය නතර කිරීමට එම ලකුණු 40 ප්‍රමාණවත් නොවීය. සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් විනුජ රණසිංහ ලකුණු 15කට කඩුලු 3ක් දවාලමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

තර්ස්ටන් විද්‍යාලය121 -10 (42.4) නිමේෂ් පෙරේරා 40, විනුජ රණසිංහ 3/15, තරුශ ප්‍රනාන්දු 2/30

අවසානයේ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 141කින් තරඟය ජයග්‍රහණය කරමින් අවසන් මහා තරඟය ජයග්‍රහණය කරන ලදි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට