පත්තරෙන් උපන් ආසාවෙන් ආසියාවත් ජය ගත් දැල්පන්දු ජයසූරිය

797

පසුගිය දා පැවති 2021 Dialog කුසලාන ජාතික දැල්පන්දු ශූරතාවලිය අවසන් වූයේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමින්. එහි අනුශූරතාව හිමි වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට.

අවසන් මහා තරගයේ කණ්ඩායම් දෙකේ ක්‍රීඩිකාවන් අතරින් කතාබහට ලක් වූ ක්‍රීඩිකාවක් තමයි ගුවන් හමුදාවේ චතුරංගි ජයසූරිය. ඒ කාලයකට පසු දැල්පන්දු පිටියට පිවිස ඇය දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඒ වෙනුවෙන්ම ThePapare.com අපි අදහස් කළා චතුරංගි සමඟ කතා බහකට මුල පුරන්න.

“ටික කාලයක් නිහඬව සිටීමෙන් පස්සේ ක්‍රීඩා පිටියට ඇවිත් පෙර පරිදි ම දක්ෂතා දක්වන්න ලැබීම ගැන ගොඩාක් සතුටු වෙනවා. ඒත් ඉතිං අපිට කණ්ඩායමක් ලෙස මෙම තරගාවලිය ජයග්‍රහණය කරන්න ලැබුණා නම් තවත් සතුටුයි. කොහොම නමුත් ආත්ම විශ්වාසයත්, ක්‍රීඩාව වෙනුවෙන් වූ බැඳීමත්, කැපවීමත් නිසා තවත් කාලයක් මට ක්‍රීඩා පිටියේ රැඳී සිටින්න පුළුවන් කියන විශ්වාසය මේ තරගාවලියත් සමඟ ඇති වුනා”, චතුරංගි ThePapare.com සමඟ පැවසුවා.

චතුරංගි දැල්පන්දු පිටියෙන් තාවකාලිකව සමුගන්නේ තම කුළුඳුල් දරු ප්‍රසූතිය හේතුවෙන්. මේ වෙද්දී ඇය වසරකුත් මාස 9ක දියණියකගේ ආදරණීය මවක්. සිඟිත්තිය, විහංසා අභිමානී සමරසිංහ.

“ඕනෑම කාන්තාවකගේ සිහිනයක් මවක් වීම. මමත් ඒ සිහිනයෙන් සිටියා. බබා ලැබෙන්න සිටි කාලයේත් ඊට පසුවත් දියණිය වෙනුවෙන් බොහෝ කැපවීම් කළා. ඒ අතර හැකි සෑම විටම ශාරීරික යෝග්‍යතාව පවත්වා ගෙන යෑමට අවශ්‍ය ව්‍යායාම වෙනුවෙන් ද කාලය කැප කළා. මවක් වූවත් මම ක්‍රීඩිකාවක් බව කිසිදු අවස්ථාවක අමතක කළේ නැහැ. මොකද මට තව ටික කාලයක් සෙල්ලම් කරන්න අවශ්‍යයි.”

චතුරංගි ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ තමන් අකුරු කරන්නට ගිය කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙන්. එහෙත් එකල ඇය මලල ක්‍රීඩිකාවක්.

“නිවාසාන්තර තරගවලට, කලාප තරගවලට දැල්පන්දු සෙල්ලම් කළත්, දන්න කියන පාසල් කාලයේ සිට ම මම වැඩි හරියක් ම කළේ මලල ක්‍රීඩාව. දැල්පන්දු සෙල්ලම් කරන්න ගියත් ලොකුවට පුහුණුවීමක් නම් කළේ නැහැ. ඒත් උස පැනීම, දුර පැනීම සහ තුන් පිම්ම යන ඉසව්වල පුහුණුවීම් ලැබුවා. උසස් පෙළ පංතිවල ඉන්න 2008 සහ 09 අවුරුදු දෙකේ මම ඒ ඉසව් තුනෙන් සමස්ත ලංකා මට්ටමේ දක්ෂතා දක්වනවා. මේ කාලයේ අපිට හැම දෙයක් ම පුහුණු කළේ පාසලේ ක්‍රීඩා පුහුණුකාරිණී සුනේත්‍රා දමයන්ති මිස්.“

පාසල් කාලයේ වැඩි හරියක් ම චතුරංගි ගත කරලා තියෙන්නේ පංති කාමරයට වඩා ක්‍රීඩා පිටියේ. ඒත් ඉතිං පාසල් පොත-පතේ වැඩ ටිකත් අල්ලගෙන ගියා කියලයි ඇය කියන්නේ. ඒකට දෙමාපියන්ගෙත් නොමද සහයෝගයක් ලැබිල තියෙනවා. අම්මා පාසලේ වැඩ ගැන බලද්දී, පියා තමයි ක්‍රීඩා කටයුතු ගැන සොයා බලන්නේ.

ඒ ලැබූ සහයෝගයත් සහ පාසලෙන් ලැබූ ක්‍රීඩා පුහුණුවෙනුත් චතුරංගි එකල සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී උස පැනීමෙන් රන් පදක්කමත්, දුර පැනීමෙන් රිදී පදක්කමත් සහ තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් දිනා ගන්නවා.

“එතනින් එහාට මගෙන් මලල ක්‍රීඩාව ඉබේම අතහැරෙනවා. මේ වෙද්දී මම උසස් පෙළ විභාගයට සහභාගී වී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටීමත් එක හේතුවක් වෙන්න ඇති. ඒ වගේ ම ඒ දවස්වල පාසල් යන්නෙත් නැහැ නේ. කොහොම හරි මේ කියන 2009 අවුරුද්දේ ම තමයි ශ්‍රී ලංකාව, ආසියානු දැල්පන්දු ශූරියන් වෙන්නේ. ඒ ගැන පත්තරවලින් ලොකු ඇගයීමක් ඒ කණ්ඩායමට ලැබුණා. ඒ ගිය ලිපි මට කියන්න ලැබුණා. එතැන දී මටත් ලොකු ආසාවක් ඇති වුනා දැල්පන්දු ක්‍රීඩිකාවක් වෙන්න.“

ඒ ආසාවට ප්‍රබල බලපෑමක් චතුරංගිගේ මවගෙන් ද ලැබුණා.

“අම්මගෙත් ලොකු කැමැත්තක් තිබුණා මාව දැල්පන්දු ක්‍රීඩිකාවක් කරන්න. ඇයත් දැල්පන්දු ගැන තිබෙන හැම පත්තර කෑල්ලක් ම උස්සගෙන ඇවිත් මට කියවන්න දෙනවා. ඒ අතර ආසියානු ජයග්‍රාහී කණ්ඩායමේ කළමණාකාරිණී ට්‍රික්සි නානායක්කාර මහත්මිය එක පත්තරයකට කියල තිබුණා, උස ක්‍රීඩිකාවන් ගෙන්න ගෙන පුහුණුවීම් කරනවා කියලා. ඒ වෙද්දී මගේ උස අඩි හයකට වැඩියි.“

ලැබූ තොරතුරු ඔස්සේ ට්‍රික්සි නානායක්කාර මහත්මිය පෞද්ගලිකව හමුවෙන මේ අම්මත් දුවත් තම තමන්ගේ ඉලක්ක ගත ගමනට මඟ පාදා ගන්නවා.

“දැල්පන්දු ක්‍රීඩාවේ නිවැරදි ව යමක් ඉගෙන ගත්තා නම් ඒ ට්‍රික්සි නානායක්කාර මහත්මිය යටතේ. පාසල් කාලයේ දී සුනේත්‍රා දමයන්ති ගුරු මහත්මියගෙන් යම් යම් දේවල් ඉගෙන ගෙන තිබුනත්, ට්‍රික්සි නානායක්කාර මහත්මිය තමයි නිවැරදි ඉලක්කයන් කියල දුන්නේ. හැබැයි ඉතිං මේ හැමදේකට ම අම්ම තමයි. අම්මට තමයි මාව දැල්පන්දු ක්‍රීඩිකාවක් කරන්න දැඩි උවමනාව තිබුණේ. තාත්තත් මේ කිසි දේකට අකමැත්තක් දැක්වූවේ නැහැ. තාත්තගෙත් ආශීර්වාදය මට ලැබුණා.“

2009 වසරේ දී ට්‍රික්සි නානායක්කාර මහත්මිය හා එක් වෙමින් දැල්පන්දු ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතය විවිර කර ගන්නා චතුරංගි එම වසරේ දී ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක් වෙනවා. එහි දී ඇයගේ පුහුණුකාරිණිය වන්නේ රූබා සුමිත් ජයලාල් මහත්මියයි.

ඔවුන් දෙදෙනාගේ පුහුණුකාරීත්වය යටතේ දැල්පන්දු පිටියේ සැරිසරන චතුරංගි එතැන් සිට වසරක් ඉක්ම වන තැන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම හා එක්වීමට වරම් ලබනවා.

ඒ අනුව ඇය පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ 2010 වසරේ ඉන්දියාවේ දී පැවති කනිෂ්ඨ ආසියානු ශූරතාවලිය වෙනුවෙන්. එම තරගාවලියේ දී ඔවුන් අනුශූරතාව දිනා ගන්නවා. අනතුරුව ස්කොට්ලන්තයේ තරග සංචාරයකටත් ඊට පසුව 2011 සිංගප්පූරුවේ පැවති ලෝක ශූරතාවලියටත් 2012 ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කුසලාන තරගාවලියටත්, 2014 සිංගප්පූරුවේ පැවති ආසියානු තරගාවලියටත් සහ 2015 ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක ශූරතාවලියටත් සහභාගී වෙනවා.

2018 වසරේ දී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායකත්වය හිමි වෙන්නේ චතුරංගිට. ඇයගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව එම වසරේ දී ආසියානු ශූරතාව දිනා ගන්නවා.

“ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්. මට දැල්පන්දු ක්‍රීඩාවට පිවිසෙන්න උත්තේජනය දෙන්නේ 2009 අවුරුද්දේ අපේ කණ්ඩායම ආසියානු ශූරතාවලිය දිනූ පසු පළ වූ මාධ්‍ය වාර්තා. එහෙම දැල්පන්දු පිටියට පිවිසි මම, මගේ නායකත්වය යටතේ නැවත වතාවක් ආසියානු ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දෙනවා. එතෙක් ඒ දක්ෂතාව කිසිවෙක්ට කරන්න බැරි වුනා.“

ආසියානු ශූරතාවලියෙන් අනතුරුව 2019 ලෝක ශූරතාවලියට ද චතුරංගිගේ නායකත්වයෙන් සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී 15 වැනි තැන දිනා ගන්නවා. එය ද කාලයකට පසු ශ්‍රී ලංකාව විඳි ඉහළ ම දක්ෂතාවක්.

“ක්‍රීඩිකාවක් ලෙසත් සහ කණ්ඩායම් නායිකාවක් ලෙසත් මගෙන් කණ්ඩායමට සහ ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවට වූ සේවාව ගැන මම තෘප්තිමත්. මේ ගමනේ දී මට දැල්පන්දු පිටියේ දී විවිධ පුහුණුකාරිණියන් හමු වුනා. ඔවුන් සියලුම දෙනාට මම මේ අවස්ථාවේ මගේ ගෞරවය පුද දෙනවා. ඔවුන්ගේ මඟ පෙන්වීමෙන් තමයි මම මේ ගමන ආවේ. හෙට දවසේ දීත් මට ඔවුන්ගේ උපදෙස් වැදගත් වෙනවා.“

ක්‍රීඩිකාවක් ලෙස මෙතෙක් ආ ගමන ගැන ඇය කෙතරම් තෘප්තිමත් වූවත් දැල්පන්දු ක්‍රීඩාව අද දවසේ තිබෙන තැන ගැන නම් චතුරංගිගේ එතරම් ම කැමැත්තක් නැහැ.

“අපි තවමත් ආසියානු ශූරයන් පමණයි. මෙතැනින් ඉහළට යන්න බැරි ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක්. මම අවුරුදු 11ක් විතර ක්‍රීඩාවේ නිරත වෙනවා. ඒත් අපිට වගේ ම ඊට කලින් හිටිය අයටත් තවමත් යන්න පුළුවන් වෙලා තියෙන්නේ ආසියානු මට්ටම දක්වා පමණයි. එතැන දිනන අපි ලෝක තරගාවලියට සුදුසුකම් ලබා ගන්නවා. එපමණයි. ක්‍රීඩිකාවක් ලෙස අපිත් කැමතියි අපේ රට ඉස්සරහට යනවට. ලෝකයේ බැබළෙනවට. අපි එහෙම හිතල තමයි කැපවීම් කරන්නේ. නමුත් දැල්පන්දු ක්‍රීඩාව තවමත් තිබෙන්නේ එතැන. මෙතැනින් ගොඩ යන්න හිතන පාලනයක් අපිට නැද්දෝ කියල මට හිතෙනවා.”

ඒකට හේතුත් ඇය දකිනවා.

“අපේ රටේ දැල්පන්දු ක්‍රීඩාව තවමත් කිසිදු සැලසුමක් නොමැතිව යන ගමනක් ලෙසයි මම දකින්නේ. කාලෙන් කාලෙට පත් වෙන නිලධාරීන්ට අවශ්‍ය ලෙසින් තමයි වැඩ කටයුතු සිදු වෙන්නේ. අපිට මීට වඩා ගමනක් යන්න නම් හොඳ ඉලක්කයක් සහිත ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. පත් වෙන කෙනා අනුව නෙමේ ක්‍රීඩාව අනුව ප්‍රතිපත්තියක් සෑදිය යුතුයි.“

ක්‍රීඩා පරිපාලනය ගැන එසේ අදහස් දක්වන චතුරංගි, දැල්පන්දු ක්‍රීඩාව හා එක්වෙන ක්‍රීඩිකාවන් ගැන ද මෙසේ පවසනවා.

“ඇත්තට ම මම අද දවසේ දකින්නේ තම තමන්ගේ සතුට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් පමණයි. ඔවුන්ට දැල්පන්දු ගැහුවා කියලා ලැබෙන දෙයක් නැහැ. මම ගුවන් හමුදා නිලධාරිනියක් ලෙසින් මගේ උපාධිය සම්පූර්ණ කරන්නේ ගුවන් හමුදාවේ සිටිය දී. ඒත් හැම කෙනෙක්ට ම එහෙම අවස්ථාවන් ලැබෙන්නේ නැහැ. අද මම බලපන්ති ලුතිනන් නිලධාරිනියක්. මට එතැනට යන්න මගේ ආයතනය පහසුකම් සකසල දීල තියෙනවා. නමුත් මම දන්න බොහෝ දෙනෙක් ඉන්නවා, ඔවුන් කෙතරම් සෙල්ලම් කළත් ඔවුන්ට ලැබෙන්නේ මාසිකව ලැබෙන වැටුප පමණයි. ඒත් ඔවුන් මේ ක්‍රීඩාව වෙනුවෙන් කොතරම් කැපවීම් කරනවා ද? ඔවුන්ට මේ ගමන තෘප්තිමත් ව යන්න අවශ්‍ය වටපිටාවක් නිර්මාණ විය යුතුයි.” ·

මේ තත්ත්වයේ වෙනසක් දකින්න නම් දැල්පන්දු ක්‍රීඩාවේ ගමන් මගේ ව්‍යුහාත්මක වෙනසක් සිදු විය යුතු බැව් ඇය පවසනවා.

“හමුදා කණ්ඩායම් කිහිපයයි, බැංකු කණ්ඩායම් කිහිපයයි නැත්නම් මෙරට දැල්පන්දු ක්‍රීඩාවක් නැහැ නේ. ඒ අතරත් ප්‍රධාන කණ්ඩායම් කිහිපයේ හැරෙන්න අනෙකුත් කණ්ඩායම්වල තරගකාරීත්වයක් නැහැ. මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ සංවිධානය කෙරෙන තරගාවලිවල ප්‍රමාණාත්මකව අඩු වීම. පාසල් මට්ටමේ හොඳ තරගාවලි කිහිපයක් සංවිධානය වෙනවා. ඒත් මේ දේවල් එක දිගට සිදු වෙනවා ද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ සියල්ල සමඟ ක්‍රීඩිකාවන්ගේ සුබ සාධන තත්ත්වයන් පිළිබඳ මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. ඔවුන් තෘප්තිමත්ව මේ තැන්වල රැගෙන ඒම පාලකයන්ගේ වගකීමක්.“

මේ සියල්ල සමඟ අනාගතයේ දී දැල්පන්දු ක්‍රීඩාව වෙනුවෙන් සක්‍රීයව දායක වීමත් චතුරංගිගේ අදහසක්.

“මේ දවස්වල මම අනාගතයේ දී පුහුණුකාරිණියක් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් සිටිනවා. ඊට පස්සේ දැල්පන්දු පරිපාලනයට පිවිසෙන්නත් ලොකු අදහසක් තියෙනවා. නිකං ම නිකමෙක් ලෙස පරිපාලනයට එනවට වඩා ඒ වෙනුවෙන් සුදුසුකම් සපුරා ගෙන පැමිණීමයි වැදගත්. මෙතැන දී අපිට නොලැබුණ නමුත් අපේ ක්‍රීඩිකාවන්ට ලැබිය යුතු සහ ඔවුන් මේ ක්‍රීඩාවේ රඳවා ගත යුතු වැඩ පිළිවෙළක් සමඟයි මම ඉදිරිපත් වෙන්නේ. ඒක ඉදිරියේ දී තීරණය වේවි. එතෙක් මම ක්‍රීඩිකාවක් ලෙසින් තව තවත් මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබා ගනිමින් ඉන්නවා.”

මේ සමඟ ඇය වර්තමාන ක්‍රීඩිකාවන්ට සේ ම පාසල් ක්‍රීඩිකාවන්ට ද විශේෂ යමක් ජීවිතයට එකතු කරනවා.

“අරමුණක් තියෙන කෙනෙක්ට ක්‍රීඩාව නිසා අධ්‍යාපනයවත්, අධ්‍යාපනය නිසා ක්‍රීඩාවවත් මඟ හැරෙන්නෙ නැහැ. එය ජයග්‍රහණය කරන්න පුළුවන්. මම ඒ දේ ජය ගත්තා. ඒ වගේ ම කාන්තාවක් ලෙසින් සමාජයේ ඕනැම තැනකට ගිහිල්ලා බයක් නැතිව අභියෝගවලට මුහුණ දෙන්න, අසාධාරණයට එරෙහිව කතා කරන්න පන්නරය ලැබුණේ ක්‍රීඩාව නිසා. අරමුණුවලට තැන දෙන්න නම්, සෑම ගෑණු ළමයෙක් ම කුමන හෝ ක්‍රීඩාවක් කළ යුතුයි. ඒක ඔබේ ජීවිතයට ලැබෙන ආශීර්වාදයක්.“

චතුරංගි, තම ජීවිතයේ බොහෝ දේවල් සැලසුම් කරන්නේ ක්‍රීඩාවටත් ඉඩක් වෙන් කර ගනිමින්. ඒ තරමට ම ඇය ක්‍රීඩාවට ආදරෙයි. ඇය වගේ ම ඇයගේ ආදරණීයයන් ද ඇයගේ ක්‍රීඩාවට ආදරෙයි.

“මගේ ක්‍රීඩාවේ මට අරමුණක් ඇති කරන්නේ මගේ අම්මා, තාත්තා. ඔවුන් ඒ වෙනුවෙන් විශාල ලෙස වෙහෙස වුනා. කැපකිරීම් කළා. ඒ වගේ ම මගේ ආදරණීය සැමියා ධනුෂ්ක ශ්‍රීමාල් සමරසිංහ, ඔහු මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් සහ ආදරණීය ස්වාමි පුරුෂයෙක් ලෙස මට දක්වන සහයෝගය මෙතෙකැයි කියා නිම කරන්න බැහැ. ඔහු තමයි මගේ ක්‍රීඩා ජීවිතයේ බොහෝ තැන් සැලසුම් කරන්නේ.

ඒ වගේ ම ඔහුගේ අම්මත්, තාත්තාත් දක්වන සහයෝගයත් අපමණයි. ඔවුන් සියලු දෙනා ලොකු වගකීමක් දරමින් මාව ක්‍රීඩාවට නිදහස් කරල තියෙනවා. ඒක ක්‍රීඩිකාවකට අවශ්‍ය ම දෙයක්. ඒ වෙනුවෙන් මම ඔවුන්ට ණය ගැතියි.“

චතුරංගි නිදහසේ තම ක්‍රීඩා ගමනේ යෙදෙන්නේ ඔවුන්ගෙන් ලැබෙන ඒ සහයෝගයෙන්. ඒ අතරතුර ආදරණීය සිඟිති දියණියගේ සුරතල් කතාබහ ද ඇයගේ ජීවිතයට අමුතු නැවුම් බවක් එක් කරනවා.

“මගේ පළමු පුහුණුකාරිණිය ට්‍රික්සි නානායක්කාර මහත්මිය සහ ගුවන් හමුදා පුහුණුකාරිණීය රූමා සුමිත් ජයලාල් මහත්මියට අමතරව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අවස්ථාවල පුහුණුකාරිණියක් කිහිප දෙනෙක් සමඟ ම වැඩ කළා. ඔවුන් සෑම කෙනෙක් ම මගේ ජයග්‍රාහී ගමනේ සුවිශේෂී ගෞරවාදරයට ලක්වන චරිත. ඒ වගේ ම එදා සිට අද දක්වා මාත් සමඟ එක් ව ක්‍රීඩා කළ විශාල සහෝදර ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් නිලධාරීන් සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන් ද මගේ ගමනට විශාල අත්වැලක් වුනා. ඒ සියලුම දෙනාට මගේ ස්තුතිය හිමි වෙනවා.”

ගරු කළ යුතු තැනැත්තන් නිසි තැන් හී තබන චතුරංගි, නවකයන් ලෙසින් දැල්පන්දු ක්‍රීඩාවට පිවිසෙන්නියන්ට මෙසේ ආමන්ත්‍රණය කළා.

“ස්ථීර අරමුණකින් එන්න. ඒ සිහිනයේ ම සිටින්න. ඒ වෙනුවෙන් කැපවෙන්න. උනන්දුවෙන් එදිනෙදා මහන්සි වෙන්න. පියවරෙන් පියවර යන ගමනේ දී අවංකව කටයුතු කරන්න. ඔබේ දියුණුව ඔබ කරා එනවා නිසැකයි.“

දැල්පන්දු ක්‍රීඩාවේ විවිධ ඉසව් තරණය කිරීම තම එක ම සිහිනය කර ගත් චතුරංගි ජයසූරිය ඔබට ThePapare.com හී සුබ පැතුම්!

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<