WhatsApp Story එකකින් කරළියට ආ යොවුන් මාලිංග – මතීෂ පතිරණ

6988
Matheesha Pathirana

ThePapare.com කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න සැඟවුණු දක්ෂතා තියෙන ක්‍රීඩකයින් ලෝකය ඉදිරි‍යට අරගෙන යන හොඳම වේදිකාවක්. ඒක ක්‍රීඩා මාධ්‍ය ආයතනයක් විදිහට අපිට තියෙන ලොකු සමාජ වගකීමක්.

මේ ලිපියෙන් වෙන්වන්නේ අන්න ඒ විදිහට ThePapare.com හරහා කාගෙත් අවධානය දිනා ගත්ත ක්‍රීඩකයෙක් ගැනයි. ඔහු නමින් මතීෂ පතිරණ.

මතීෂව මුලින්ම මම දකින්නේ 2019 අගෝස්තු 31 වැනිදා, ඒ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තිබ්බ තරගාවලියක් වෙනුවෙන් පල්ලෙකැලේ තිබුණ නවසීලන්ත කණ්ඩායමේ පුහුණු සැසියක් අතරතුරයි.

එදා ග්‍රවුන්ඩ් එකේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් බලාගෙන ඉන්න කොට එක පාරටම මම දැක්කා තරමක් කෙට්ටු පන්දු යවන්නෙක් ස්ලින්ගා ටයිප් එකට (ලසිත් මාලිංග වගේ) පන්දු යවනවා. බවුන්සර්ස් එහෙමත් හොඳටම දැම්මා, හැබැයි වයස අවුරුදු 16ට ඒ වගේ වේගයක් එක්ක පන්දු යවනවා කියන්නේ ටිකක් විශේෂයි කියලා මට දැනුණා.

පස්සේ අපි එයාගේ වීඩියෝ ටිකක් අරන් ThePapare.com YouTube එකේ post කළා. එතැනින් තමයි මතීෂ කා අතරත් කතාබහ වෙන චරිතයක් බවට පත්වෙන්නේ. මෙතැනින් එහාට දිගහැරෙන්නේ මතීෂගේ කතාවයි.

තවත් විශේෂාංග ලිපි:

2002 දෙසැම්බර් 18 වැනිදා වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙකුගේ එකම සහෝදරයා ලෙස මෙලොව එලිය දකින මතීෂගේ පළමු පාසල බවට පත්වන්නේ දොඩන්වල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයි. පසුව, මතීෂ රණබිම රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙන්නේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වෙමින්. එතැන් සිට තමයි ඔහුගේ ක්‍රිකට් ගමන ආරම්භ වන්නේ, මොකද දොඩන්වල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ නැහැ.

රණබිම රාජකීය විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම්වල පිතිකරණයට වැඩි බරක් දෙමින් ක්‍රීඩා කළ මතීෂ ක්‍රමයෙන් වේගපන්දු යවන්නෙක් බවට පරිවර්තනය වුනේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ තිබෙන සුවිශේෂී බව නිසා සහ එයට තිබෙන ආසාව නිසයි. පාසල් මට්ටමේ දී වුනත් පැයට කිලෝමීටර 135කට ආසන්න වේගයකින් පන්දු යැවීමේ හැකියාව මතීෂ සතුව පවතිනවා.

“මගේ මුල්ම පුහුණුකරු ඇවිල්ලා මගේ තාත්තා. තාත්තා නිසා තමයි මම අදටත් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ. පුංචි කාලෙ ගෙදර දී මට bat කරන්න තාත්තා තමයි බෝල දැම්මේ. මම රණබිම රාජකීය විද්‍යාලයේ 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම්වලට ක්‍රීඩා කළේ පිතිකරුවෙක් විදිහට. හැබැයි මම පන්දු යවන කොට මගේ අත ටිකක් පැත්තට බර වෙලා එන්නේ. ඒක නිසා මට කට්ටිය කිව්වා මම නිකන් පන්දු යවන්නේ මාලිංග වගේ කියලා. මම ඒකට ගොඩක් ආස වුනා. පස්සේ පස්සේ මම පන්දු යවන්නෙක් වුනා.”

Matheesha Pathirana“රණබිම රාජකීය විද්‍යාලයේ 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම්වල දක්වපු දස්කම් නිසා මට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ආරාධනාවක් ආවා. පස්සේ මම 2018 අවුරුද්දේ දී ත්‍රිත්ව විද්‍යාලයේ 17න් පහළ කණ්ඩායම නියෝජනය කළා. ඒ තරගාවලියේ තරග 6ක දී කඩුලු 13ක් දවා ගන්න සමත් වුනා. ඒක නිසා මට 19න් පහළ කණ්ඩායමටත් ක්‍රීඩා කරන්න පුළුවන් වුනා.”

“2019/20 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දී මාතර සාන්ත සර්වේසස් කණ්ඩායම සමඟ තිබ්බ තරගයේ දී එක ඉනිමක ලකුණු 7කට කඩුලු 6ක් දවා ගන්න මට පුළුවන් වුනා. පස්සේ මම ඒ වීඩියෝවලින් ටිකක් මම මගේ WhatsApp Story එකට දැම්මා පස්සේ මගේ contact list එකේ හිටපු ThePapare.com එකේ අයියා කෙනෙක් මගෙන් ඒ වීඩියෝ ටික ගත්තා. පස්සේ ThePapare.com එකෙන් ඒ වීඩියෝ ටික එකතු කරලා වීඩියෝ එකක් දැම්මා ඒ වීඩියෝ එක ගොඩක් viral ගියා.”

මතීෂගේ මේ වීඩියෝ එක viral යන්න කලිනුත් ඔහු කරළියේ කතාබහට ලක්වුන ක්‍රීඩකයෙක්. ඒ නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයක් අතරතුර අවස්ථාවක දී. මතීෂ ඒ තරගාවලියේ දී නවසීලන්ත පිතිකරුවන්ගේ සහයක දැල තුල පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කළා. නවසීලන්ත පිතිකරුවන්ට ඉතාමත් හොඳින් පන්දු කිහිපයක් ඔහු යොමු කළත්, ඔහුගේ ඉරියව්ව මාලිංගගේ ඉරියව්වට ගොඩක් සමාන නිසා එය නවසීලන්තයට වාසිදායක වේ යැයි සිතූ බලධාරීන්, පන්දු කිහිපයක් යැවූ මතීෂට පොඩි විවේකයක් ලබා දුන්නා.

“මම නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දැල තුල පන්දු යවන්නෙක් විදිහට කටයුතු කළා. පල්ලෙකැලේ තිබ්බ පුහුණු සැසිය අතරතුර යවපු පන්දු කිහිපයක් Record කරලා ThePapare.com YouTube එකේ දැම්මා. එතැනින් තමයි මේ කතාවේ හොඳම ටික පටන් ගත්තේ” මතීෂ පැවසුවා.

“පස්සේ මාව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තෝරාගැනීම වෙනුවෙන් තිබ්බ Selections වලට මට කතා කළා. ත්‍රිත්ව විද්‍යාලය හරහා තමයි මට ඒ ආරාධනාව ලැබුණේ. මම ඒ ක්‍රීඩක තෝරාගැනීමට ගිහින් දස්කම් පෙන්නුවා. පස්සේ මට බංග්ලාදේශ කණ්ඩායම එක්ක තිබ්බ 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් වුනා. මම ඒ තරගාවලියේ දී එක ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළා. ඒ තරගයේ දී ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තා. ඒ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.”

ඉන් අනතුරුව 2019 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණු අතර එම ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කිරීමට මතීෂට හැකියාව ලැබුණා.

මේ අතරතුර සිව්දින තරගයකට පමණක් ක්‍රීඩා කළ වේගපන්දු යවන මතීෂ පතිරණව ලෝක කුසලාන තරගාවලියට රැගෙන යෑමට ගත් තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කර සිටි එවකට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හෂාන් තිලකරත්න මහතා මතීෂ පිළිබඳව මෙසේ පවසා සිටියා.

“ඇත්තටම එයා තවමත් සිව්දින තරගයකට විතරයි ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ බංග්ලාදේශ තරග සංචාරයේ දී. ඒ තරගයේ දී තරගයේ වීරයා වුනේ මතීෂ. ඇත්තටම අපි ඔහුව එක්දින තරගවලට සහභාගි කෙරු‍වේ නැත්තේ ලෝක කුසලාන තරගාවලියට ඔහුව යොමු කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. මොකද ඔහු ගැන, ඔහුගේ පන්දු යැවීම ගැන කිසිම රටක් දන්නේ නැති නිසා. ඔහුව කවුරුත් දැකලා නැහැ.”

Matheesha Pathirana
2019 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට මතීෂට හැකි වුනා.

එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තරග දෙකක් ක්‍රීඩා කළ මතීෂට කිසිම කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාව ලැබුණේ නැතත් සාර්ථක ලෙස ලකුණු පාලනය කරමින් පන්දු යැවීමට ඔහුට හැකියාව ලැබුණා. තරගාවලිය අතරතුර ඔහුට අපූරු සහ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දෙන්නත් වුනා. ඒක නිසා ඔහු ගැන ආයිත් මුළු ලෝකයේම අවධානය යොමු වුනා.

“ඒ ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව එක්ක තිබ්බ තරගයක්. ඉන්දීය ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී මම යශස්වී ජයිස්වාල්ට පන්දුවක් යොමු කළා. මේ තරගය සජීව ලෙස විකාශනය වුන තරගයක් නිසා වේග මාපකවල ලැබෙන දත්ත රූපවාහිනි තිරය මත සනිටුහන් වෙනවා. එහි දී ඒ පන්දුවේ වේගය පැයට කිලෝමීටර 175ක් හෙවත් පැයට සැතපුම් 108ක් ලෙස වාර්තා වෙලා තියෙනවා. 

මමත් ටිකක් පුදුම වුනා. ඒ වීඩියෝ එක නිසා ආයිත් මාව Viral ගියා. මම හිතන්නේ ඒක තාක්ෂණික දෝෂයක් නිසා වුනු දෙයක්. මට දැනට නම් එච්චර ලොකු වේගයකින් පන්දු යවන්න බැහැ. බලමු මම ඉදිරියේ දී මගේ වයසත් එක්ක මගේ වේගය සහ දස්කම් වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා” යැයි මතීෂ ThePapare.com වෙත පැවසුවේ සිනහ වෙමින්.

මතීෂ මේ වන විට ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් එක් තරග වාරයක් සඳහා ක්‍රීඩා කර ඇති නමුත්, මෙවර පාසල් මහා ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට මඟ හැරී ගියේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසා ඔවුන්ගේ පාසල් ක්‍රිකට් මහා තරගය අත්හැර දැමීම නිසාවෙනි.

තවද, ඔහු පසුගිය දා නිමා වුන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී NCC නියෝජනය කරමින් තරග දෙකක දී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනත්, ආබාධයක් නිසා ඔහුට එම තරගාවලියේ තරග කිහිපයක්ම මඟ හැරී ගියා.

Matheesha Pathirana
මතීෂ සිය පවුලේ සාමාජිකයින් සමඟ

“මගේ පන්දු යැවීමේ ඉරියව්ව අනික් පන්දු යවන්නන්ට වඩා ටිකක් වෙනස්, ඒක නිසා ටිකක් ආබාධ එන්න තියෙන ඉඩකඩ අනික් යට වඩා වැඩියි. හැබැයි හරි විදිහට ව්‍යායාම ටික කරලා, හරි ඉරියව් අනුගමනය කරමින් ක්‍රීඩා කරනවා නම් අපිට එන දීර්ඝ කාලීන ආබාධ ගොඩක් ආවම කරගන්න පුළුවන්” මතීෂ පැවසුවා.

“මම මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ මුල්ම පුහුණුකරු ලෙස උදව් කළ සම්පත් සිල්වා සර්. ඊට කලින් මට පවිත්‍රන් කියලා අයියා කෙනෙක් උදව් කළා. පස්සේ මට ත්‍රිත්ව විද්‍යාලයේ දී කාවින්ද සර්, ලහිරු සර්, නවීන් සර්, සැම්සන් බර්ග් සර්, පින්නදුව සර්, නිලන්ත රත්නායක සර්, ඒ වගේම 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හෂාන් සර් ඇතුළු වචනයකින් හරි උදව් කරපු හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා” යැයි මතීෂ පැවසුවා.

“ඇත්තටම එදා මහනුවර දී ThePapare.com එකේ අය මාව දැක්කේ නැත්නම් මම අද ඉන්න තැන මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. මම වගේ දක්ෂ ක්‍රීඩකයින්, ඒ වගේම අමුතු හැකියාවන් තියෙන ක්‍රීඩකයින් ගොඩක් අපේ රටේ හැංගිලා ඉන්නවා. ඒ ගොල්ලන්වත් මේ විදිහටම ලෝකය ඉදිරියට රැගෙන එන්න ඔයාලට පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා” යැයි මතීෂ මා ඇතුළු ThePapare.com කණ්ඩායමට ස්තුතිය පුද කරමින් පැවසුවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<