පානදුරෙන් පැමිණ කොළඹ දිනූ “කමිල් මිෂාර”

1302
Kamil Mishara

පානදුර මහානාම විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරමින් කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවැනි ගමන ඇරඹූ 19 හැවිරිදි රාජපක්ෂ විදානපතිරණලාගේ කමිල් මිෂාර මේ වන විට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ නායකයා ද වේ.

“පානදුරේ ඉඳල කොළඹ එන්න මට දැඩි උවමනාවක් තිබුණා. හොඳ ක්‍රිකට් එකක් ගහන්න ආසාවක් තිබුණා. ඒ වෙද්දී මම වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ හොඳ දක්ෂතා අතර හිටියා. ඒ අතර තමයි කොළඹ රාජකීය විද්‍යාලයෙන් මට කතා කළේ. මම දෙපාරක් නොහිතා ඒකට කැමති වුනා” කමිල් මිෂාර පානදුරේ සිට කොළඹට පැමිණි කතාව සිහිපත් කළේ ඒ විදිහට. 

කොළඹ රාජකීය විද්‍යාලයේ රාජකීයයෙක් වෙන්න ප්‍රථම කමිල් පාසල් ගියේ පානදුර මහානාම විද්‍යාලයට. හැබැයි ඉතිං, කමිල් පාසල් එන්නත් පෙර සිට ම ක්‍රිකට් පුහුණුවීම්වලට සහභාගී වූ කෙනෙක්. 

“පුංචි දවස්වල මගේ සෙල්ලම් බඩු වෙලා තිබුණෙ බැට්, බෝල්. වෙන මොනදේ තිබුනත් මගේ පළමු තේරීම වෙලා තියෙන්නේ බැට්, බෝල්. තාත්තත් ක්‍රිකට්වලට ලොකු කැමැත්තක් තිබුණා. මම හිතන්නේ ඒකම වෙන්න ඇති මගේ මේ කැමැත්තට හේතු වෙන්න ඇත්තේ. කොහොම හරි මේ ආසාව නිසාම අම්මත්, තාත්තත් මාව පෙර පාසල් වයසේ දී ම ක්‍රිකට් පුහුණුවීම්වලට යවනවා.”

Kamil Misharaමේ කාලයේ දී තරගවලට සහභාගී වුනා ද නැත් ද කියල කමිල්ට එච්චර මතකයක් නැහැ. නමුත් Bowling Machine එක උපයෝගී කර ගනිමින් පුහුණු වූවා කියන මතකයක් කමිල්ට තියෙනවා. සමහර විට කමිල්ගේ වදෙන් බේරෙන්න මේ ක්‍රිකට් පුහුණුව සිදුවූවා ද විය හැකියි. කමිල් ඒ තරමටම ක්‍රිකට් ක්‍රීඩාවට එකල ඇබ්බැහි වෙලා ඉඳල තියෙන්නේ. අම්මත් – තාත්තත් ඉඩ ලැබෙන පරිදි කමිල්ගේ මේ ක්‍රිකට් පුහුණුව සඳහා එක්කගෙන යනවා. කමිල් ද කුඩා දවස්වල කම්මැළිකමකින් තොරව කරන ලද එකම දේ ක්‍රිකට් ගැහිම විතරලු. 

කොහොම හරි කමිල් පානදුර මහානාමයට යන්න ගත්ත දා සිටම එහි ද ක්‍රිකට් පුහුණුවීම්වලට සහභාගී වෙන්න අවස්ථාව ලබා ගන්නවා. ඒ පුහුණුවීම් සඳහා පැමිණි වයසින් සහ ශරීරයෙන් ද කුඩාම ක්‍රීඩකයා ලෙසයි. ඔහුගේ පළමු පුහුණුකරු වෙන්නේ දිනේෂ් චන්දිමාල්. පාසලට ඇතුළත් වූ වසරේ දී ම කමිල් වයස අවුරුදු 13න් පහළ කණ්ඩයමට ක්‍රීඩා කිරීමට වාසනාවන්ත වෙනවා. ඒක බොහොම කලාතුරකින් සිදු වෙන දෙයක්. කමිල් එතකොට වයස අවුරුදු 6ක පොඩිම පොඩ්ඩෙක්.

“මම මුලින්ම නියෝජනය කළේ මහානාමයේ වයස අවුරුදු 13න් පහළ C කණ්ඩායම. ඒ වෙද්දී මම එකේ පංතියේ. මුලින්ම අර්ධ ශතකයක් ලබා ගන්නේ පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව 3 පංතියේ දී. මේ අර්ධ ශතකය බොහෝ දෙනෙක් අගේ කළා. සුබ පැතුවා. මම හිතනවා, මම හරියටම ක්‍රිකට් අල්ල ගන්නේ එතැනින් කියලා. ”

කමිල්ගේ සිතුවිල්ල නිවැරදි විය හැකියි. එම ඉනිම කමිල්ගේ ක්‍රිකට් ජීවිතයේ බොහෝ වෙනස්කම් කළා. එම වයස් කාණ්ඩයේ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කිරීමට ද එකී දක්ෂතා ඉවහල් වුනා. ඊට පසුව සහභාගී වෙන සෑම තරගයක දී ම කුමන හෝ දෙයක් කිරීමට කමිල් සමත් වුනා. කමිල් කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක් වුනා.

“ඔහොම සෙල්ලම් කරගෙන ඉන්දැද්දි මම, මට වයස අවුරුදු 11ක් වෙද්දී මගේ පළමු ශතකය වාර්තා කරනවා. ඒ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව. ඒ ශතකය නිසා නැවත මා ගැන කතා කරන්න ගත්තා. මගේ දක්ෂතා අගය කළා. 13න් පහළ ක්‍රීඩා කරන අවසන් අවුරුද්දේ දී මම මහානාම කණ්ඩායමේ නායකත්වයට පත් වුනා.”

Kamil Mishara
පළාත් තරගාවලිය ජයග්‍රහණය කරමින්

නායකයෙක් ලෙසින් වගකීම් කරට ගත් කමිල්, තමන් කෙරෙහි තැබූ විශ්වාසය ඒ ආකාරයෙන්ම රැක ගන්නවා. ඔහු එම වසරේ දී තම කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායම ලෙසින් අභිෂේක ලැබීම දක්වා රැගෙන යනවා. එපමණක් නොවේ, එම වසරේ දී ලකුණු 1000ක් වාර්තා කිරීමට ද කමිල් සමත් වෙනවා. එය එම වයස් කාණ්ඩයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණයයි. කමිල්ගේ එම දක්ෂතාව ශතක 7කින්, ලකුණු 150කට වැඩි ඉනිමකින් සහ මෝදර ඩි ලා සාල් විද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද ද්විත්ව ශතකයකින් ද හැඩ වෙනවා.

“වයස අවුරුදු 13න් පහළ අවසන් අවුරුද්දේ දී මම විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළා. මේ දවස්වල පුහුණුකරු ලෙසින් සිටි බැසිල් සර්. ඔහුත් මගේ දක්ෂතාවලට විශාල මෙහෙවරක් කළා. මේ නිසාම වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරද්දී පළාත් කණ්ඩායම නියෝජනය කරන්න ද මම වරම් දිනා ගත්තා. ඊට පස්සේ අවුරුද්දක නායකත්වය ද දැරුවා. එම අවුරුද්දේ ප්‍රීමා කුසලානය දිනා ගැනීමටත් මට හැකි වුනා.”

මේ දක්ෂතා ද සමඟින් කමිල්ට ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් මැලේසියා සංචාරයකට එක් වීමට ද වරම් ලබනවා. ඒ 2015 වසරේ දී. එම තරගාවලියේ වීරයා වන කමිල් එළඹෙන ඊළඟ වසරේ (2016) දී එම තරගාවලියට සහභාගී වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින්. එවර එම තරගාවලිය ජයග්‍රහණය කිරීම දක්වා තම කණ්ඩායම මෙහෙයවීමටත් සහ තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙසින් සම්මාන දිනා ගැනීමටත් කමිල් සමත් වෙනවා. 

මෙම තරගාවලියෙන් අනතුරුව මෙරටට එංගලන්ත වයස අවුරුදු 16න් පහළ ජාතික කණ්ඩායම තරග සංචාරයක් සඳහා සහභාගී වෙන අතර ඔවුන්ට එරෙහිව තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද කමිල්. එම තරගාවලියේ ද වීරයා ලෙසින් අභිෂේක ලබන්න කමිල් සමත් වෙනවා.

Kamil Mishara
පළාත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වෙමින්.

මේ දක්ෂතා ද සමඟින් කමිල්ගේ ක්‍රිකට් ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය ලියැවෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලය සමඟ.

“මම කොළඹ රාජකීය විද්‍යාලයට එන විට පානදුර මහානාම විද්‍යාලයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පුහුණුකරුවන්, ක්‍රිකට් භාර ආචාර්යවරුන් සහ මගේ සහෝදර ක්‍රීඩකයන් මාව හොඳට බලා ගත්තා. මට උදව් කළා. මගේ දක්ෂතා එළිදැක්වීමට ඔවුන් විශාල දායකත්වයක් දැක්වුවා. එතැනින් පස්සේ මම කොළඹ රාජකීය විද්‍යාලයට එන්නේ ඔවුන්ගේ ද ආශීර්වාදය ඇතිව.”

රාජකීය විද්‍යාලයට එන විට කමිල්ට පුහුණුකරු ලෙසින් හමුවෙන්නේ තිළිණ කණ්ඩම්බි. ඔහු යටතේ පුහුණුව ලබන කමිල් රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් වූ පළමු අවුරුද්දේ ම ලකුණු 850ක් සහ කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් 70කට සම්බන්ධ වෙනවා.

Kamil Mishara
රාජකීය – සාන්ත තෝමස් එක්දින වාර්ෂික තරගයේ දක්ෂතම පිතිකරු වුදා.

නමුත් එතැන් සිට කමිල්ට එතරම්ම දායකත්වයක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට හැකි වෙන්නේ නැහැ. ඒ ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වීම නිසයි. පාසලේ පළමු අවුරුද්ද නිමා වෙද්දී කමිල් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවෙන්නේ කඩුලු රකින, ආරම්භක පිතිකරුවෙක් ලෙසින්. ඒ මෙරට පැමිණි ඉන්දිය කණ්ඩායමට එරෙහිව. එතැන් සිට කමිල්, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ මේ දක්වාම එක්ව සිටින අතර එය නායකත්වය කිරුළ දැරීම දක්වාම දිගු වෙනවා. කමිල් නායකත්වය උසුලන්නේ පසුගිය වසරේ මෙරට සංචාරය කළ පාකිස්තානය කණ්ඩයමට එරෙහිවයි. ඊට අමතරව කමිල් ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයේ ද කටයුතු කළා.

කමිල් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අගය කිරීම වෙනුවෙන් පැවැත්වෙන Observer-Mobitel විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් 2019 වසරේ පිදුම් ලබනවා. කමිල් මේ සම්මානය දිනා ගනිමින් රාජකීය ක්‍රිකට් ඉතිහාසයට ගෞරවයක් ලබා දෙන්නේ තවත් සම්මානයක් ද සමඟින්. ඒ ජාත්‍යන්තර තරග දක්ෂතා ඇගයීමේ දී දක්ෂතම පිතිකරු සම්මානය ද හිමිකර ගනිමින්. එමෙන්ම රාජකීය ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් ද තමන් සන්තක කර ගැනීමට කමිල් සමත් වෙනවා. ඒ කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 250ක් ලබා ගනිමින් පාසල් ක්‍රිකට් තරගයක දී රාජකීයයෙකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තබමින්. මීට පෙර මේ වාර්තාව වී තිබී ඇත්තේ ලකුණු 211ක්.

Kamil Mishara
පාසල් ක්‍රිකට් කරළියේ ඇගයීම් ලැබූ දා

ඒ වගේම කමිල් වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් තරගාවලිය ද අවස්ථා ගණනාවක දී නියෝජනය කරනවා. එසේ එක් වූ 2019 අවුරුද්දේ කොළඹ කණ්ඩායමේ නායකත්වය ද උසුලමින් තරගාවලියේ ශූරතාව දිනා දීමට ද කමිල් සමත් වෙනවා. එම තරගාවලියේ දක්ෂතම පිතිකරු මෙන්ම තරගාවලියේ වීරයා වෙන්නේ ද කමිල්.  

“රාජකීය විද්‍යාලයේ සිටිද්දී තිළිණ කණ්ඩම්බි සර්ගෙන් සහ ජෙහාන් මුබාරක් සර්ගෙන් ලැබුණ ගුරුහුරුකම් මගේ ක්‍රිකට් ජීවිතයට ගොඩක් වැදගත් වුනා. ක්‍රිකට් ජීවිතය මනාව පාලනය කර ගන්න ඔවුන් උපදෙස් දුන්නා. ඒ වගේම හෂාන් තිලකරත්න සර් සහ රෝයි ඩයස් සර් ද මගේ පිතිකරු අංශය දියුණු කිරීමට විශාල දායකත්වයක් දැක්වුවා. ඊට අමතරව සිහිපත් කළ යුතු තවත් බොහෝ දෙනෙක් මම සමඟ සිටියා. ඔවුන් සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට අමතරව මගේ ක්‍රිකට් ජීවිතය මේ තරමින් ඉහළට ගෙන ඒමට දායකත්වය දැක්වූ රාජකීය විද්‍යාලයීය සියලුම ප්‍රජාව ද මම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඊට අමතරව මම ක්‍රීඩා කළ පානදුර ක්‍රීඩා සමාජයේ සහ වර්තමානයේ ක්‍රීඩා කරන එන්. සී. සී. එකේ සියලුම දෙනාමත් මගේ දක්ෂතා සමඟ සිටිමින් මට සහයෝගය දැක්වීම ගැන ස්තුතිවන්ත වෙනවා.”

Kamil Mishara
කමිල්, අම්මා, තාත්තා සහ නංගී සමඟ

කමිල්ගේ පියා උපුල් සංජීව, වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්, මව තුෂාරි පෙරේරා ගෘහණියක් ලෙසින් කටයුතු කරනවා. නැගණිය තිසන්‍යා අපූර්වි තවමත් 5 හැවිරිදි වියේ පසු වෙන්නියක්. කමිල්ගේ ක්‍රිකට් ජීවිතයට ජීවය දෙන අය අතර ඉහළින්ම ඉන්නේ ඔවුන් කියලයි කමිල් පවසන්නේ. 

“අද මම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩකයන් පළමු 5 දෙනා අතර ඉන්නවා. ඒ ගැන ගොඩක් සතුටුයි. අපි අතර හොඳ තරගාකාරීත්වයක් තියෙනවා. මේ අතරින් අංක 1 වෙන්නයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම මට වයස අවුරුදු 21ක්, 22ක් වෙද්දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක් වෙන බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒ ගමන ලේසි නැහැ. නමුත් මේ වෙනුවෙන් සියයට දෙසීයක් ශක්තිය යොදවලා වෙහෙස වෙනවා. අත හරින්නෙ නැහැ. ඒ ටාගට් එකට යන්න නම් විශාල ලෙස මහන්සි වෙන්න ඕන. මම ඒකට සූදානම්” කමිල් අවසන් වශයෙන් පැවසුවා. 

ඔහුගේ බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com හී ප්‍රාර්ථනාවයි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<