පරම්පරා නාමයෙන් ක්‍රිකට් ලොව ජය ගත් “සම්මු”

1689
ආනන්ද විද්‍යාලයෙන් උපහාර ලබමින්

සම්මු අශාන්, මෙරට යොවුන් ක්‍රිකට් පිටියේ ඉහළින්ම කියැවෙන නමක්. අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි සම්මු, කොළඹ ආනන්ද විද්‍යාලය හරහා තම දක්ෂතා මුදා හරිනවා. එහි ප්‍රතිඵලයක් ලෙසින් වසර කිහිපයක්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන්නටත්, ඉන් අනතුරුව ඉතා ළාබාල අවදියේම ශ්‍රී ලංකා A කණ්ඩායමට එක්වීමටත් වාසනාවන්ත වෙනවා. පසු කාලයේ ඔහු 19න් පහළ නායකත්වයට ද පත්වෙනවා. අද ඔහු අවුරුදු 22ක් වන නාඹර තරුණයෙක්.

“මම අම්බලන්ගොඩින් කොළඹ එන්නෙ ක්‍රිකට් ගහන්න තිබුණ කැමැත්ත නිසා. ගෙදරින් පිට ගියහම වැඩිපුර ක්‍රිකට් ගහන්න ලැබෙනවයි කියන විශ්වාසයෙන් මම හිටියේ. අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ අවුරුදු 3ක් ක්‍රීඩා කරනවා. ඊට පස්සෙ වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරන්න කොළඹ ආනන්ද විද්‍යාලයට එනවා” සම්මු තම අතීතය සිහිපත් කළා.

සම්මුගේ සම්පූර්ණ නම ලියද්දි වාසගම, එහෙමත් නැත්නම් පරම්පරා නාමය ලෙසින් ලියැවෙන්නේ සම්මු ලෙසින්. ඊට පස්සෙ අශාන්. ඒත් කවුරුත් ඔහුව හඳුන්වන්න ගත්තේ සම්මු ලෙසින්. සම්මුගේ තාත්තත් ‘සම්මු ආනන්ද’. ඒත් අම්බලන්ගොඩ කවුරුත් ඔහු හඳුනන්නේ එස්. ආනන්ද නමින්. අම්බලන්ගොඩ නම තියපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. වේගපන්දු යවන්නෙක්. ඒ වගේම ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. පන්දු යැවීමට වඩා එකල කවුරුත් කැමැත්තක් දැක්වූයේ එස්. ආනන්දගේ පිතිහරඹයට. ඔහු ක්‍රීඩා කළ තරග සේ ම ශ්‍රී දේවානන්ද – ධර්මාශෝක වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී සම්මුගේ තාත්තා එස්. ආනන්ද වෙනුවෙන්ම තරග නැරඹීමට පැමිණි වෙනමම පිරිසක් හිටියා. ඔහු ඒ තරමට 1970 අග භාගයේ දී අම්බලන්ගොඩ ‘හිට්’ වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 

“තාත්තගෙ මේ ක්‍රිකට් දක්ෂතා නිසා තමයි මමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නේ. පවුලේ හැමෝම වගේම සහ තාත්තගෙ යාළුවන් වුනත් කිවුවෙ තාත්තගෙ ආභාෂය ඇති නිසා මාව ක්‍රිකට් ගහන්න යවන්න කියලයි. ඒ නිසාම අපේ පවුලේ සෑම කෙනෙක්ගේම කැමැත්ත වුනේ මාව, පුංචි කාලේ ඉඳලම ක්‍රිකට් ගහන්න යවන්නයි. ඒත් ඉතිං තාත්තගෙ එච්චර ඉක්මන් වීමක් තිබුණෙ නැහැ. හැමෝම මාව ක්‍රිකට් ගහන්න යවන්න කියද්දී තාත්ත මාව පාසලේ පිහිනුම් පුහුණුවීම් සඳහා යැවුවා.”

යකාගේ මිනිහෙක්නේ., පවුලේ අය කියන්නට ඇති. යහළු මිත්‍රයන් ද ඒ තීරණය විවේචනය කරන්නට ඇති. එහෙත් ගෙදර කවුරුත් සම්මුගේ තාත්තගෙ තීරණයට පිටින් යන්න ගියේ නැහැ. සම්මු පිහිනුම් පුහුණුවීම් සඳහා ගිය අතර ලැබෙන විවේකයේ දී ගමේ පිරිස් සමඟ එකතු වෙලා ක්‍රිකට් ගහන එක නතර කළේ නැහැ. ගෙදරින් ඊට විරුද්ධත්වයක් ද තිබුණෙ නැහැ. 

සම්මු ක්‍රීඩාවක් ලෙසින් පළමුවෙන් පිහිනුම් ක්‍රීඩාවට සහභාගී වූව ද එහි තරග ජයග්‍රහණයක් නම් ලබා ගන්නට නම් හැකි වී නැහැ. ඒත් ඉතිං මෙරට ප්‍රසිද්ධ තරග රාශියකට ඔහු සහභාගී වෙලා තියෙනවා. විශේෂයෙන්ම සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරග කිහිපයකටම ඔහු සහභාගී වෙනවා. 

“මම අවුරුදු 2ක් විතර පිහිනුම් ක්‍රීඩාව කරනවා. ඔය අතර ගමේ ක්‍රිකට් ගහනවා. මගෙත් වැඩි කැමැත්ත තිබුණෙ ක්‍රිකට් ගහන්න. ඒත් තාත්තගෙන් අහන්නත් බයයි. ඒ නිසා මමත් ඉතිං පිහිනුම් ක්‍රීඩාවේම නිරත වෙලා හිටියා. ඔය අතර එක දවසක දී තාත්ත හිටි ගමන්ම කිවුවා ක්‍රිකට් පුහුණුවීම් සඳහා යන්න ලෑස්ති වෙන්න කියලා. මට ඉතිං ඊට වඩා දෙයක් නෑ” රටක් වටින ක්‍රිකට් ක්‍රීඩකයෙක් බිහිවෙන්නේ ඒ විදිහට. 

“සමහර විට තාත්ත මාව ක්‍රිකට් ක්‍රීඩාවට පෙර සූදානම් කිරීමක් ලෙසින් පිහිනුම් ක්‍රීඩාවට යොමු කරන්න ඇති කියල අද හිතෙනවා” සම්මු පවසනවා. 

මේ තීරණයත් සමඟ පුහුණුවීම්වලට ආ සම්මුට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ විශේෂ තැනක් හිමිවෙනවා. එස්. ආනන්දගේ දක්ෂතා ඒ ආකාරයෙන්ම එළිදැක්වෙන විට අම්බලන්ගොඩ බොහෝ දෙනෙක් සම්මු ගැන කතා කරන්න ගන්නවා. ඒ කතා කිරීම කොළඹ ප්‍රජාවත් කරනවා. ඒ අනුව තමයි, සම්මුට කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ආරාධනා ලැබෙන්නේ. 

“මම ආනන්දෙට එන්නේ 9 පන්තියේ දී. ඒ වෙද්දී අවුරුදු 13න් පහළ ගහල ඉවරයි. 15න් පහළ ආනන්දෙට ගහපු පළමු අවුරුද්දේම මම කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලකුණු 352ක් ගහනවා. ඒක වාර්තාවක් බව මම දැන ගන්නේ පස්සේ. කොහොම වුනත් ලකුණු 150ක් විතර ගහද්දී මට තවත් ලකුණු ගහන්න පුළුවන් කියන හැඟීම ආවා. මම දිගටම සෙල්ලම් කළා. ඒ ඉනිම අදටත් මගේ මතකයේ තියෙන හොඳම ඉනිම ලෙසින් සටහන් වෙලා තිබෙනවා.”

මේ තරගයෙන් අනතුරුව ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය, ක්‍රිකට් සිළුමිණ මෙරටට දිනා දුන් අර්ජුන රණතුංග පැමිණ කුඩා සම්මුට සුබ පැතීම, එවකට එම ඉනිම ක්‍රීඩා කළාටත් වඩා සතුටක් බවයි සම්මු පවසන්නේ. එමෙන්ම අම්බලන්ගොඩ සිට පැමිණ අලුතම වාර්තා කළ මෙම ඉනිම එකල මාධ්‍යයේ විශේෂ ඇගයීමට ලක් වුණා. විශේෂ මාතෘකාවක් වුනා. එම ඉනිමත් සමඟින් එම වයස් කාණ්ඩයේ පෑ විශේෂ දක්ෂතා හේතුවෙන් සම්මුට ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් මැලේසියාවේ සංචාරයකට එක් වීමට වරම් ලැබෙනවා. එය සම්මුගේ පළමු විදෙස් සංචාරයයි.

එම වයසේ දී ම ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ද සුදුසුකම් ලබා ගන්නා සම්මු තම පළමු පෙළ පළමු වසරේ ක්‍රිකට් තරගාවලිය අවසන් කරන විට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් සහභාගී වී ලකුණු 300ක් ඉක්ම වූ ප්‍රමාණයක් සහ කඩුලු 40කට වැඩි ප්‍රමාණයක් දවා ගනිමින් අවසන් කළා. 

කොළඹ ආනන්දය වෙනුවෙන් 2015 වසරේ දී වයස අවුරුදු 19න් පහළ නායකත්වයට ද පත් වීමට සම්මු සමත් වෙනවා. එමෙන්ම ඊට පසු වසරේ දී සම්මු, ආනන්දය වෙනුවෙන් පෑ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීම් උළෙලේ දී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනුශූරතාව මෙන්ම දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන දිනා ගන්නවා.

2016 වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනු ශූරතාව දිනා ගනිමින්

සම්මු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් දිනා ගන්නේ ඔහු ආනන්දයේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම නියෝජනය කරද්දී. අනතුරුව ඔහු 2016 එංගලන්තයේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයට ද පත් වෙනවා. එහි දී තරග 6ක ඉනිම් 6කට ක්‍රීඩා කරන සම්මු නොදැවීම් 2ක් ද සමඟින් ලකුණු 148ක් ලබා ගන්නවා. ලබා ගත් කඩුලු සංඛ්‍යාව 3ක්. 

 “මට ඊට වඩා දෙයක් කරන්න තිබුණා” සම්මු පවසනවා. 

සම්මුගේ නායකත්වයෙන්, පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සම්මු තරග 4ක ඉනිම් 3කට සහභාගී වෙමින් ලකුණු 189ක් ලබා ගන්නවා. එහි දී පාකිස්තානයට එරෙහිව ලකුණු 103ක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා. එය ඔහුගේ වයස අවුරුදු 19න් පහළ හොඳම ඉනිම ලෙසින් සටහන් වෙනවා. එමෙන්ම එම වසරේ දී ජාත්‍යන්තරයේ පෑ දක්ෂතා හේතුවෙන් හොඳම පිතිකරු ලෙසත් සහ තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා අනුශූරතාව ද දිනා ගැනීමට සම්මු සමත් වෙනවා. 

සම්මු පාසල් යන වයසේ දී ම ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ අසුනක් ද හිමි කර ගන්නවා. ඔහු එම අවස්ථාව දිනා ගන්නේ 2016 වසරේ දී මෙරට සංචාරය කළ බටහිර ඉන්දීය කොදෙව්වන් හා පැවති එක්දින තරගාවලියේ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි එක්දින තරගය වෙනුවෙන්. 

සම්මු මීට අමතරව 2017/18 සහ 2019 තරග කාලයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් පළාත් Super Four ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වෙනවා. ඊට පසුව පැවති Super Four එක්දින ක්‍රිකට් තරගාවලියේ ද නැතිවම බැරි ක්‍රීඩකයෙක් වෙනවා. 

2018 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සම්මු නියෝජනය කරන්නේ කොළඹ කණ්ඩයමයි. 2019 දී ආසියානු කුසලානය වෙනුවෙන් පැවති නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ දී ද, 2019 වසරේ නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ද සම්මු සමත් වෙනවා. 

පාසල් යන අවධියේම කොළඹ එස්. එස්. සී. කණ්ඩායම හා එක්වෙන සම්මු මේ වන විට ද එහි ප්‍රබල සාමාජිකයෙක්. මේ දක්වා පළමු පෙළ තරග 29ක ඉනිම් 44කට සහභාගී වී ඇති ඔහු ලකුණු 1815ක් ලබා සිටිනවා. ඔහුගේ පළමු පෙළ හොඳම ඉනිම වෙන්නේ මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 144යි. 

“ලොකු ගමනක් ආවා. ගොඩක් අය උදව් කළා. තවත් දුර යන්න තියෙනවා“ සම්මු පවසනවා. 

සම්මුගේ පියා, එස්. ආනන්ද, මව වන නිර්මලා අබේසේකර, අක්කා සම්මු නිරාශා සහ ඇයගේ ප්‍රිය ස්වාමියා ද තමන්ගේ ක්‍රිකට් ජීවිතයට විශාල ශක්තියක් බවයි සම්මු පවසන්නේ. එමෙන්ම අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්දයෙන් ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩාව කොළඹ ආනන්ද විද්‍යාලය දක්වා රැගෙන ඒමටත්, එහි දී ජාත්‍යන්තර පිටියේ දක්ෂතා දක්වා රැගෙන ඒමටත් දක්වා වූ කාලයේ දී සහාය දැක්වූ සෑම කෙනෙක්ටම සම්මු ස්තුතිවන්ත වෙනවා. 

තවත් විශේෂාංග ලිපි:

සම්මුගේ ආදරණීයයන්

පුහුණුවීම් නොමැති අවස්ථාවල ජංගම දුරකතනයේ මුහුණ ඔබාගෙන යෙදෙන වීඩියෝ ගේම් සඳහා වැඩි කාලයක් මිඩංගු කරන බව ද පවසන සම්මු නිවාඩු පාඩුවේ ගත කරන්න කැමතිම තැන ලෙසින් හඳුන්වන්නේ තමන් හැදී වැඩුණ අම්බලන්ගොඩයි. ක්‍රිකට් තම ජීවිතය කර ගත් සම්මු, ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවුනා නම් මේ වන විට කුමන වෘත්තියක් නිරත වේ දැයි සිතා ගැනීමට බැරි බව ද පවසයි. 

“පිහිනුම් අතහැරලා ක්‍රිකට්වලට ආව දා සිට මගේ ජීවිතය වුනේ ක්‍රිකට්. ආනන්දෙ ඉන්දැද්දි පීරියඩ් කට් කරල ක්‍රිකට් ගහන්න ගිහිල්ලා දඬුවම් පවා විඳලා තියෙනවා. සමහර අසාර්ථක වූ අවස්ථාවල දී කාටත් හොරා අඬල තියෙනවා. ඒ මම මගේ ජීවිතේ ක්‍රිකට් වෙනුවෙන්ම කැප කරපු නිසා. අදටත් මම ඒ වෙනුවෙන් කැප වෙනවා. මහන්සි වෙනවා. එහෙම නැතිව බැහැ. ඕනම කෙනෙක්ට ක්‍රිකට් ක්‍රීඩාව කරන්න පුළුවන්. ඒත් එකෙන් ඉදිරියට යන්න හැමෝටම බැහැ. ඒ වෙනුවෙන් විශාල ලෙස මහන්සි වෙන්න ඕන. කැපවීමක් තියෙන්න ඕන.” 

සම්මුගේ අද දවස ගත වෙන්නේ ඒ වෙනුවෙන්. අම්බලන්ගොඩ සිට කොළඹ පැමිණෙද්දී නිශ්චිත අරමුණක් නොතිබුනත්, මේ වන විට සම්මු ක්‍රීඩා පිටියේ සජීවී වෙන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තැනක් තමන් වෙනුවෙන් වෙන්කර ගන්න. 

“ඒක ලෙහෙසි කටයුත්තක් නෙවේ. ඒත් මම ඒ අභියෝගයට කැමතියි” සම්මු පවසනවා. 

ඔහුගේ බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com හී අපගේ ද ප්‍රාර්ථනාවයි.   

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<