Havelock ප්‍රබල ජයක් ලබද්දී මහනුවරට තවත් තියුණු ජයක්

Nippon අන්තර් සමාජ රග්බි තරගාවලිය 2022/23

36

Nippon අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතියේ තරග පසුගිය සිකුරාදා (06) සිට පැවැත්වුනා.

Police SC v Air Force SC

සිකුරාදා (06) පැවති මෙම තරගයෙන් ගුවන් හමුදා ක්‍රීඩකයින් ලකුණු 21-15ක් ලෙස පරදවා තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට පොලිස් ක්‍රීඩකයින්ට හැකි වුනා.

නිසල් සමාධි සහ අශාන් ප්‍රනාන්දු වාර්තා කළ උත්සාහක දිනුම් නිසා පළමු අර්ධය 14-10ක් ලෙස සත්කාරකයින් අභිබවා පෙරමුණ ගැනීමට පොලිස් ක්‍රීඩකයින්ට හැකි වුනා.

දෙවැනි අර්ධය ආරම්භයේ දී පොලිස් ක්‍රීඩක මොහොමඩ් ෆව්මි වාර්තා කළ උත්සාහක දිනුම නිසා තරගයේ වැඩි ආධිපත්‍ය ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වූ අතර ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් පරාක්‍රම රත්නායක උත්සාහක දිනුමක් වාර්තා කළත්, එය තරගයේ වෙනසක් කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Police SC 21 – 15 Air Force SC

Kandy SC v Navy SC

තරගාවලියේ සිය ආධිපත්‍ය රඳවා ගනිමින් නාවික හමුදා ක්‍රීඩකයින් ලකුණු 21-18ක් ලෙස පරදවා සිය අපරාජිකත්වය රැක ගැනීමට වත්මන් ශූර මහනුවර ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන මහනුවර ක්‍රීඩකයින්ට හොඳ සටනක් ලබා දෙමින් ඔවුන්ව පරාජයක් අභියසට ගෙන ඒමට අනෙක් කණ්ඩායම් වලට හැකි වූවත්, අවසන් මොහොතේ සිය ගෞරවය රැක ගැනීමට මහනුවර ක්‍රීඩකයින් සෑම සතියකම සමත් වුනා.

සෙනසුරාදා (07) පැවති මෙම තරගයේ ආරම්භක උත්සාහක දිනුම වාර්තා කරමින් වසර ගණනාවකට පසු ලකුණු අතරට පිවිසීමට ධනුෂ්ක රාජන්ට හැකි වූ අතර උචිත ජයසුන්දර සහ ඩේමින් රත්වත්තේ අනෙක් උත්සාහක දිනුම් සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළා.

එම උත්සාහක දිනුම් මගින් හිමි වූ ප්‍රවර්තන අවස්ථා ත්‍රිත්වයම සාර්ථකව අවසන් කිරීමට තරින්ද රත්වත්තේට හැකි වුනේ සිය කණ්ඩායම ප්‍රබල තැනකට ගෙන එමිනුයි.

නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් පුලස්ති දසනායක සහ රදීශ සෙනවිරත්න උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් වූවත්, අවසන් මිනිත්තු 15 දී මහනුවර පසුපෙළ ක්‍රීඩකයින්ගේ දක්ෂ ක්‍රීඩා විලාශය නිසා කිසිදු ලකුණක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Kandy SC 21 – 18 Navy SC

Havelock SC v Army SC

සෙනසුරා (07) ආරම්භ වූ මෙම තරගය අයහපත් කාලගුණය නිසා අවසන් කිරීමට සිදු වුනේ සඳුදායි.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවති මෙම තරගයේ පළමු අර්ධය අතරතුර ඇති වූ වර්ෂාව නිසා ක්‍රීඩාංගණයේ ගංවතුර තත්වයක් ඇති වූ අතර පසුව කණ්ඩායම් සමඟ සාකච්ඡා කළ විනිසුරුවරයන් තරගයේ දෙවැනි අර්ධය සඳුදා පැවැත්වීමට තීරණය කළා.

වර්ෂාව මධ්‍යයේ ක්‍රියාත්මක වූ පළමු අර්ධය 17-08ක් ලෙස පෙරමුණ ගැනීමට Havelock ක්‍රීඩකයින්ට හැකි වෙද්දී Christian De Lile සහ නිවන්ක ප්‍රසාද් උත්සාහක දිනුම් වාර්තා කළා.

සඳුදා පැවති දෙවැනි අර්ධයේ දී නැවතත් සිය ආධිපත්‍ය පෙන්නුම් කළ Havelock කණ්ඩායම වෙනුවෙන් මිතුන් හපුගොඩ සහ ශානක හේරත් උත්සාහක දිනුම් වාර්තා කරමින් සිය කණ්ඩායමට අමතර ප්‍රසාද ලකුණක් තහවුරු කළා.

යුද හමුදා ක්‍රීඩකයින් මෙම තරග වාරයේ පසුබෑම මෙම තරගයේත් පෙන්නුම් කළ අතර ඔවුන් වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම වාර්තා කළේ ධනිල්ෂ දිසානායකයි.

අවසන් ලකුණු තත්වය: Havelock SC 31-15 Army SC

CR&FC v CH&FC

කොළඹ තුරඟ තරග පිටියේ පැවති මෙම තරගයේ පළමු අර්ධය ලකුණු 20-08ක් ලෙසින් පෙරමුණ ගැනීමට CR&FC ක්‍රීඩකයින්ට හැකි වුනා.

CR&FC කණ්ඩායම වෙනුවෙන් Murshid Zubair සහ ගැමුණු චේතිය උත්සාහක දිනුම් වාර්තා කරද්දී චතුර සෙනවිරත්න ප්‍රවර්තන අවස්ථා දෙකක් සහ දඬුවම් පහර අවස්ථා දෙකක් සාර්ථකව අවසන් කළා.

දෙවැනි අර්ධය ආරම්භයේ දී චේතිය වාර්තා කළ උත්සාහක දිනුමෙන් ලකුණු පරතරය වැඩි කිරීමට CR&FC ක්‍රීඩකයින්ට හැකි වූ අතර ඔවුන් එම අර්ධයේ දී කහ කාඩ්පත් පහක් ලබා ගත්තත් තරගයේ වෙනසක් කිරීමට CH&FC ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

CH&FC කණ්ඩායම වෙනුවෙන් ජනිඳු ඩිල්ෂාන් උත්සාහක දිනුමක් වාර්තා කළා.

අවසන් ලකුණු තත්වය: CR&FC 27 – 19 CH&FC

Nippon රග්බි ලීගය –පස්වැනි සතිය තරග

තරගාවලියේ පස්වැනි සතියේ තරග සිකුරාදා (13) නාවික හමුදා කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර එම තරගයේ වැඩි ගෞරව ඇත්තේ නාවික හමුදා ක්‍රීඩකයින්ටයි.

සෙනසුරාදා (14) මහනුවර ක්‍රීඩකයින් පොලිස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට කොළඹට පැමිණීමට නියමිත අතර පොලිස් ක්‍රීඩකයින් පසුගිය සතියේ ලැබූ ජය නිසා හොඳ තරගයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. එදිනම Havelock සහ CH&FC අතර තරගය පැවැත්වෙන්නේ කොළඹ තුරඟ තරග පිටියේයි.

පස්වැනි සතියේ අවසන් තරගය ලෙස ගුවන් හමුදා ක්‍රීඩකයින් CR&FC කණ්ඩායමට එරෙහිව ඉරිදා (15) තරග වදිනු ඇත.

පස්වැනි සතියේ තරග කාලසටහන,

  • Navy SC v Army SC on 13th, Friday at 00pm in Welisara
  • Kandy SC v Police SC on 14th, Saturday at 00pm in Police Park
  • Havelocks SC v CH&FC on 14th, Saturday at 00pm in Racecoure Grounds
  • CR&FC v Air Force SC on 15th, Sunday at 00pm in Ratmalana

Nippon අන්තර් සමාජ රග්බි ලීගයේ තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<