සුපිරි වැටුපක් සමඟින් Ronaldo සෞදි අරාබියට

11589

ලෝක පාපන්දු පිටියේ වැඩි අවධානයක් දිනා ගත් පෘතුගාල ජාතික සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo සෞදි අරාබි ක්‍රීඩා සමාජයක් වන Al-Nassr සමඟ වසර දෙකකට (2025 වසර දක්වා) ගිවිසුම් ගතව තිබෙනවා.

එම ගිවිසුමේ වටිනාකම වසරකට යූරෝ මිලියන 200ක් (ඇමරිකානු ඩොලර් මිලියන 214ක්) වන අතර නව ගිවිසුම සමඟින් ක්‍රීඩා සමාජ ඉතිහාසයේ වසරකට වැඩිම වැටුපක් ලබන ක්‍රීඩකයා බවට පත් වීමට ද ඔහුට හැකි වීම විශේෂත්වයක්.

පසුගිය මාස කිහිපය තුළ මෙම පුවත පිළිබඳව කතාබහක් ඇති වූ අතර අවසානයේ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් Al-Nassr කණ්ඩායම ප්‍රකාශ කර තිබුණේ ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා නිල වශයෙන් Al-Nassr සමඟ එක් වූ බවයි.

“ඉතිහාසය වෙනස් වෙමින් පවතිනවා. මෙම බඳවා ගැනීම අපගේ ක්‍රීඩා සමාජයට පමණක් නොව අපගේ තරගාවලියට විශාල වටිනාකමක් එක් කරනවා. ඒ වගේම අපේ රටේ පාපන්දුවට ආදරේ කරන සියලු දෙනාටම මේක හොඳ දිරිගැන්වීමක්. ඔබගේ නව නිවහනට අපි සාදරයෙන් පිළිගන්නවා,” යැයි එම ක්‍රීඩා සමාජය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

සිය නව කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් සුපිරි ක්‍රීඩක Ronaldo ප්‍රකාශ කළේ,

“යුරෝපා පාපන්දු පිටියේ මට ජයග්‍රහණය කරන්න ඕන වුන සියලු දේ ජයග්‍රහණය කරන්න ලැබීම මගේ වාසනාවක් වගේම මගේ අත්දැකීම් ආසියාව තුළ බෙදා ගැනීමට මෙය සුදුසුම අවස්ථාව කියලා මට දැනුණා.

මම මගේ නව කණ්ඩායම සමඟ එකතු වෙලා ඔවුන්ට සාර්ථක වෙන්න උදව් කරන්න බලාපොරොත්තු වෙනවා.”

සෞදි අරාබි පාපන්දු ලීගයේ ප්‍රබලතම කණ්ඩායමක් වන Al-Nassr කණ්ඩායම Ronaldoගේ පැමිණීමත් සමඟ ඉතා ශක්තිමත් වන අතර ඔහුගේ පැමිණීම ප්‍රකාශ කිරීමෙන් කෙටි වේලාවක් තුළ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට ද විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් එක්වෙනු දක්නට ලැබුණා.

එමෙන්ම ලෝක කුසලානයේ දී දැක්වූ සුපිරි දස්කම්වලින් පසුව ලෝක පාපන්දු පිටියේ අවධානය හිමි වූ ආසියානු කලාපයේ පාපන්දුවට Ronaldoගේ පැමිණීමත් සමඟ ඉතා විශාල අවධානයක් හිමි වනු ඇත.

යුරෝපා ක්‍රීඩා සමාජ පිටියේ ප්‍රසිද්ධ කණ්ඩායමක් වන Real Madrid කණ්ඩායම වසර 09කට ආසන්න කාලයක් නියෝජනය කළ ඔහු එම කණ්ඩායම සමඟ ජයග්‍රහණ රැසක් ලබා ගත්තා.

පසුව ඉතාලියේ ක්‍රීඩා සමාජයක් වන Juventus සමඟ එක් වූ ඔහු එම ක්‍රීඩා සමාජයෙන් ඉවත් සිය පැරණි ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ සුප්‍රකට Manchester United සමඟ එක් වුනා.

Manchester United බලධාරීන් සමඟ ඇති කර ගත් මතභේදාත්මක සිදුවීම් කිහිපයක් නිසා ඔහු එම කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසුව Al-Nassr ක්‍රීඩා සමාජය සමඟ එක් වීමට තීරණය කර තිබෙනවා.

Ronaldo පසුගිය දා පැවති පාපන්දු ලෝක කුසලානයේ දී ගෝලයක් වාර්තා කරමින් අඛණ්ඩව ලෝක කුසලාන පහක දී ගෝල වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසයට එක් වූවත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට ඔහු ප්‍රමුඛ කණ්ඩායමට සිදු වුනා.

පෘතුගාල කණ්ඩායමේ නායකයා වූ ඔහුව අර්ධ අවසන් පූර්ව තරගයේ දී ආරම්භක සංචිතයට එක් නොකිරීමට කණ්ඩායම් බලධාරීන් කටයුතු කර තිබූ අතර එය ද තරමක මතභේදයකට තුඩු දුන් කරුණක් වුනා.

මේ වන විට ජාත්‍යන්තර පාපන්දු පිටියේ ගෝල 118ක් ලබා ගනිමින් ගෝල ලාභීන් අතරේ පෙරමුණේ පසු වන Ronaldo ක්‍රීඩා සමාජ පිටියේ ද ගෝල 701ක් ලබා ගැනීමට සමත්ව ඇති Ronaldoගේ පැමිණීම ආසියානු පාපන්දු පිටියට සුබදායී පුවතක් වනු ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<