මහනුවර සහ CR & FC අපරාජිත ගමනේ ඉදිරියටම

Mastercard Club Rugby League 2024/25

76
Mastercard Club Rugby

2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ හය වැනි සතියේ තරග ගෙවී ගිය සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.

Havelock සහ යුද හමුදාව

මෙම සතියේ තරග සඳහා ආරම්භය ලබා දෙමින් Havelock සහ යුද හමුදා කණ්ඩායම් තරග බිමට පිවිසුණු අතර, තරගයේ පළමු අර්ධයේ දී දෙපිළෙන් ම කරට කර සටනක් නිර්මාණය වුනා.

මෙහි දී පෙරමුණ ගැනීමට සමත් වූ යුද හමුදාව ලකුණු 05ක් ලබා ගන්නා අතරේ, Havelock ක්‍රීඩකයින් ලකුණු 03ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ Havelock ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 4ක් වාර්තා කරමින් තරගයට විශිෂ්ට අයුරින් අවතීර්ණ වූ අතර, මෙම කාල සීමාව තුළ යුද හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි.

  • Havelock 29 (4T, 3C, 1P) – යුද හමුදාව 18 (2T, 1C, 2P)

තරගයේ වීරයා සන්දේශ් ජයවික්‍රම (Havelock)

ගුවන් හමුදාව සහ පොලිසිය

මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ වඩාත් තියුණු ම තරගය ලෙස මෙය හඳුන්වාදිය හැකි. තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම එක් උත්සාහක දිනුමක් සහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ලකුණු 07 බැගින් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ පළමුව පොලිසිය විසින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූ අතර, වරෙක ලකුණු තත්වය 19-10ක් ලෙස පොලිස් කණ්ඩායම පැහැදිලි ජයක් පෙනෙන මානයේ රැඳී සිටියා. නමුත් තරගයේ අවසන් මිනිත්තු දහය තුළ සියලු අනාවැකි බිඳ හෙළූ ගුවන් හමුදා ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය තමන් වෙත ලබා ගැනීමට සමත් වුනා.

  • ගුවන් හමුදාව 20 (3T, 1C, 1P) – පොලිස් ක්‍රීඩා සමාජය 19 (3T, 2C)

තරගයේ වීරයා ශෂික ප්‍රනාන්දු (ගුවන් හමුදාව)

CR & FC සහ CH & FC

මෙම සතියේ පැවැත්වුණු තවත් උණුසුම් ගැටුමක් ලෙස හැඳින්විය හැකි මෙම තරගයේ පළමු අර්ධයේ සිටම CR & FC ක්‍රීඩකයින් පෙරමුණේ සිට ලකුණු රැස් කළා.

පළමු අර්ධය නිමා වන විට CR & FC ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා සිටි අතර, CH & FC පාර්ශවයෙන් ලකුණු 10ක් වාර්තා වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් පෙරට වඩා හොඳින් තරගයට අවතීර්ණ වූ අතර, ඔවුන් එහි දී ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. එම කාල සීමාව තුළ CR & FC පාර්ශවයෙන් වාර්තා වුනේ ලකුණු 08ක් පමණයි. නමුත් තරගයේ පළමු අර්ධයේ ලද වාසියත් සමඟ CR & FC කණ්ඩායම සිය අපරාජිත ගමන තවදුරටත් රැක ගැනීමට සමත් වුනා.

  • CR & FC 27 (4T, 1P, 2C) – CH & FC 22 (3T, 2C, 1DG)

තරගයේ වීරයා අදීශ වීරතුංග (CR & FC)

මහනුවර සහ නාවික හමුදාව

මෙම තරගයේ දී අපරාජිත මහනුවර කණ්ඩායම ඉතා පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ ම තම ජයග්‍රහණය තහවුරු කර ගත් මහනුවර කණ්ඩායම ලකුණු 38ක් වාර්තා කිරීමට සමත් වුනේ නාවික හමුදාවට එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ නොතබමිනුයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ ද මහනුවර ක්‍රීඩකයින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ අතරවාරයේ නාවික හමුදාව එක් උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් ලකුණු 05ක් ලබා ගැනීමට සමත් වුනා.

  • මහනුවර 66 (10T, 8C) – නාවික හමුදාව 05 (1T)

තරගයේ වීරයා කෙනුල හෙට්ටිආරච්චි (මහනුවර)

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<