Sahaගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට Dravid උත්තර දෙයි

6541
Rahul Dravid breaks silence on Wriddhiman Saha

ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය පසුගිය දා නම් කෙරුණා.

ප්‍රවීණ ඉන්දීය කඩුලු රකින පිතිකරු Wriddhiman Saha එයට ඇතුළත් නොවූ අතර සංචිතය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් සිදු කර තිබුණා. ඔහුගේ එම ප්‍රකාශ සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු Rahul Dravid පසුගිය දා අදහස් දක්වා තිබුණා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබුණා. ඒ පසුගිය සෙනසුරාදායි (19). මෙම සංචිතය සඳහා නවක මුහුණු කීපයක් එක් කර තිබූ අතර Wriddhiman Saha සහ තවත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කීපදෙනෙකු ඉන් ඉවත් කර තිබීම කැපී පෙනුණා.

කෙසේ වෙතත් තමා සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Wriddhiman Saha පවසා සිටියේ, තමාව ඉදිරි තරගාවලි සඳහා එක්කර නොගන්නා බැවින් තමාට විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස Rahul Dravid තමාට පැවසූ බවයි.

කණ්ඩායම් කළමනාකාරිත්වය මට කිව්වා මාව මින් ඉදිරියට තරගාවලි සඳහා සලකන්නේ නැහැ කියලා. මම ඉන්දීය කණ්ඩායමේ හිටපු නිසා මට මේක කියන්න බැහැ. පුහුණුකරු Rahul Dravid පවා මට යෝජනා කළා විශ්‍රාම ගැනීම ගැන හිතන්න කියලා”, Wriddhiman Saha සෙනසුරාදා මාධ්‍ය වෙත පවසා තිබුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සාර්ථක විස්සයි විස්ස තරගාවලියක් නිමා කළ ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු Rahul Dravid Sahaගේ මෙම ප්‍රකාශය පිළිබඳව සිය පිළිතුර ලබා දී තිබුණා.

එහි දී ඔහු පවසා සිටියේ Sahaට තම අනාගතය පිළිබඳව අවංක සහ පැහැදිලි අදහසක් ලබා දීමට අවශ්‍ය වූ බවත්, විශ්‍රාම ගැනීම පිළිබඳව කතාබහ පැමිණියේ තමාට Saha පිළිබඳව ඇති ගැඹුරු ගෞරවය නිසා බවයි. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සඳහා Saha ලබා දුන් දායකත්වය පිළිබඳව තමාට විශාල ගෞරවයක් ඇති බව ද Dravid පවසා සිටියා.

ඔහුගේ ප්‍රකාශය නිසා මට කිසිම හානියක් නැහැ”, Dravid පවසනවා.Wriddhiman Sahaට සහ ඔහුගේ ජයග්‍රහණවලට වගේම ඔහු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද දායකත්වය ගැන මට ගැඹුරු ගෞරවයක් තියනවා. ඔහු සමඟ මගේ සංවාදය ඇත්ත වශයෙන්ම පටන් ගත්තේ එතැනින්. ඔහුට මගේ ගෞරවය හිමිවෙනවා. ඔහුට ඔහුගේ අනාගතය ගැන අවංකව සහ පැහැදිලිව අදහසක් තියෙන්න ඕනේ. මට ඕනේ වුනේ මාධ්‍යයෙන් දැනගන්න කලින් ඔහුට ඒක කියන්න.”

මේවා මම ක්‍රීඩකයන් සමඟ නිරන්තරයෙන් කරන සංවාද. මම කාගෙවත් හිතක් කිසිසේත්ම රිදවන්නේ නැහැ. මොකද ක්‍රීඩකයන් හැමවිටම හැම පණිවිඩයකටම කැමති වෙයි කියලා මම හිතන්නෙ නැහැ. එහෙමත් නැත්නම් මම කියන හැමදේකටම එකඟ වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ. ඔබට සමහර වෙලාවට යම් යම් පුද්ගලයන් එක්ක අමාරු සංවාද කරන්න වෙනවා. සමහර විට ක්‍රීඩකයන් එක්ක වෙන්න පුළුවන්. ඒ හැමවෙලාවකම ඔවුන් අපිත් එක්ක එකඟ වේවි කියලා හිතන්න බැහැ. එහෙමයි කියලා ඒ වගේ දේවල් නොකියා ඉන්න අපිට හැකියාවක් නැහැ.”

කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ඔවුන්ගේ භූමිකාවන්ට අදාළව නිසි ලෙස පුහුණු කිරීමට සහ ඔවුන්ගේ වගකීම් හඳුන්වා දීමට තමා සහ ඉන්දියාවේ නව නායක Rohit Sharma සැලසුම් කරන බවත් Dravid පවසා සිටියා. එහි දී සංචිතයෙන් ඉවත් කරන ක්‍රීඩකයන්ට ඒ සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් ලබා දෙන බවත් ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් පැහැදිලි කළා.

සෑම තරගාවලියකටම කලින් ක්‍රීඩා කරන 11 දෙනා තෝරා ගන්න කලින් මම හෝ රෝහිත් ක්‍රීඩා නොකරන ක්‍රීඩකයින් සමඟ කතා කරනවා. ඔවුන් ක්‍රීඩා නොකරන්නේ ඇයි සහ මේ 11 දෙනා ක්‍රීඩා කළ හැකි හේතු මොනවා ද කියන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අපි විවෘතව ඉන්නවා. මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ක්‍රීඩකයින් සමහර අවස්ථාවල දී කලබල වෙන්න පුළුවන්. ඔවුන්ට රිදෙන්න පුළුවන්. ඒක ස්වාභාවිකයි. නමුත් මට ඔවුන් ගැන ඇති ගෞරවය නිසා සහ මම මගේ කණ්ඩායමට පැහැදිලිභාවයක් සහ අවංකභාවයක් දෙන්න ඕනේ නිසා මම ඔවුන්ට කතා කරනවා”, Dravid පවසා සිටියා.

Wriddhiman Saha අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණේ පසුගිය නොවැම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහිවයි. එහි දී ඔහු බෙල්ලේ ආබාධයක් සමඟින් ක්‍රීඩා කළ අතර කාන්පූර් ටෙස්ට් තරගයේ දී ලකුණු 61ක් රැස් කිරීමට සමත් වුනා. දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරය ද ඔහු සංචිතයට නම් කර තිබුණ ද Rishabh Pant මූලික විකල්පය ලෙස තෝරා ගෙන තිබුණා.

ඉන්දියාව මේ වසරේ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ටෙස්ට් තරග තුනකට පමණයි. එහි දී ඔවුන් ශ්‍රී ලංකාවට සමඟින් ටෙස්ට් තරග දෙකක් සහ 2021 එංගලන්ත සංචාරයෙන් කල් දැමූ ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. මේ අතර ඉන්දීය කළමනාකාරිත්වය තවත් තරුණ කඩුලු රකින්නෙකු කණ්ඩායමට එක් කර ගැනීමට තීරණය කර ඇති අතර මේ නිසා KS Bharat කණ්ඩායමට ඇතුළත් කර Saha කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.

අපට මේ වසරේ ඇත්තේ ටෙස්ට් තරග තුනක් පමණයි. වන අතර Rishabh Pant අපගේ අංක 1 කඩුලු රකින්නා ලෙස තහවුරු කරලා තියෙනවා. ඒත් එක්ක අපිට ඕනේ වුනා ළාබාල කඩුලු රකින්නෙකු තෝරා ගන්න. ඒක තමයි මම Sahaට කිව්වේ. මේකෙන් ඔහුගේ දායකත්වයට මගේ ඇති ගෞරවය වෙනස් වෙන්නේ නැහැ.”

මම කිව්වා වගේ මට ලේසිම දේ තමයි මේ වගේ සංවාද නොකර ඉන්න එක හෝ ඒ ගැන ක්‍රීඩකයන් සමඟ කතා නොකර ඉන්න එක. නමුත් ඒක මගේ ක්‍රමය නෙමෙයි. ඔවුන් ඒ කතාබහට කැමති වේවි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවල මම කරන කතාබහෙන් ඔවුන් මට ගරු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා”, Dravid පවසා සිටියා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<