තේනුක අවසන් මොහොතේ ජයග්‍රහණය උදුරා ගනී

310

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ‍තරගාවලියේ කුසලාන වටයේ තවත් තරගයක් අද (22) සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්විය. එම තරගය ලකුණු 23-21ක් ලෙස ජයග්‍රහණය කළ සාන්ත පීතර කණ්ඩායම, බැසිල් වීරතුංග කුසලානය තමන් සතු කරගන්නට සමත් විය.

මේ වන විට කුසලාන තරග වටයේ පෙරමුණ ගෙන සිටින සාන්ත පීතර විද්‍යාලය මේ ලබාගත්තේ ඔවුන්ගේ 8 වැනි ජයග්‍රහණයයි. රාජකීය විද්‍යාලය දෙවන ස්ථානයේ රැඳී සිටින අතර ඔවුන්ට කුසලාන ශූරයන් වීමට නම් මීළඟ තරගය ඔවුන් අතිරේක ලකුණක් සමඟින් ජයග්‍රහණය කළ යුතුය.

කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් පළඟ ශූරතාවයට තවත් ළඟා වෙයි

2019 සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය වෙනුවෙන් මරදාන සහිරා…

තරගයේ ආරම්භය සාන්ත ජෝසප් ක්‍රීඩකයින් විසින් ආරම්භ කළ අතර මුල් මිනිත්තු 5 තුල දී ම ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට අවස්ථාව උදා වූයේ සාන්ත ජෝසප් කණ්ඩායමටයි. ඒ ඔවුන්ට හිමි වූ දඬුවම් පහරක් මගිනි. ජෝසප් කණ්ඩායමට ආරම්භ ලකුණු එක් කිරීමට තේනුකගේ පා පහර සමත් විය. (සාන්ත පීතර 00 – 03 සාන්ත ජෝසප්)

ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ සාන්ත පීතර කණ්ඩායම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ රවීන් ප්‍රනාන්දුගේ වේගවත් ධාවනයත් සමඟිනි. තේනුක නානායක්කාරට ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නොහැකි විය. නමුත් සාන්ත පීතර කණ්ඩායම තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. (සාන්ත පීතර 05 – 03 සාන්ත ජෝසප්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ මීළඟ මිනිත්තු කීපය තුල කණ්ඩායම් දෙකම ප්‍රබල ලෙස සටන් කළ අතර කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමේ අවස්ථාවන් උදා වූයේ නැත. නමුත් 18 වැනි මිනිත්තුවේ දී සාන්ත ජෝසප් කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට සන්තුෂ් අල්ගම සමත් වන අතර තරගයේ පෙරමුණ යලිත් සාන්ත ජෝසප් කණ්ඩායම සතු විය. (සාන්ත පීතර 05 – 06 සාන්ත ජෝසප්)

පළමු අර්ධය නිමා වීමට මිනිත්තු කීපයක් ඉතිරිව තිබිය දී තවත් උත්සාහක දිනුමක් ලබාගැනීමට සාන්ත ජෝසප් කණ්ඩායම සමත් වන්නේ සාන්ත පීතර ඉදිරිපෙළ නිරුත්තර කරමිනි. එම උත්සාහක දිනුම ටෙහාන් කරුණානායක විසින් වාර්තා කළ අතර අතිරේක ලකුණු දෙකක් ද තම කණ්ඩායමට එක් කිරීමට සන්තුෂ් අල්ගම සමත් විය. (සාන්ත පීතර 05 – 13 සාන්ත ජෝසප්)

පළමු අර්ධය : සාන්ත පීතර විද්‍යාලය 05 – 13 සාන්ත ජෝසප් විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේ සිටම ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ සාන්ත පීතර කණ්ඩායම, සාන්ත ජෝසප් ඉදිරිපෙළ ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස සාන්ත පීතර කණ්ඩායමට තවත් දඬුවම් පහරක් ලැබුණු අතර එය සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාර සමත් විය. (සාන්ත පීතර 08 – 13 සාන්ත ජෝසප්)

උත්සාහය අත්නොහල සාන්ත පීතර ක්‍රීඩකයන් තම ආක්‍රමණය තවත් ප්‍රබල කළ අතර නැවත වරක් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ වගකීම ඉටු කිරීමට සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නිස්‍රාන් සමත් විය. Maul අවස්ථාවක් මගින් එම උත්සාහක දිනුම වාර්තා කිරීමට සාන්ත පීතර කණ්ඩායමට අවස්ථාව උදා විය. තේනුක නානායක්කාර එම ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් අතර නැවතත් තරගයේ පෙරමුණ සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට අහිමි විය. (සාන්ත පීතර 15 – 13 සාන්ත ජෝසප්)

දෙවන අර්ධයේ රාජකීය ප්‍රහාරයෙන් ඉසිපතන බලාපොරොත්තු වතුරේ යයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉතා වැදගත් තරගයක් අද (22) පැවැත්වුණේ කොළඹ රාජකීය…

කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් විසින් කළ යම් යම් වැරදි නිසා දෙපිලටම දඬුවම් පහර කීපයක් ලැබුණි. කරට කර සටනක නිරත වූ සාන්ත ජෝසප් කණ්ඩායමට 54 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් හිමි වන්නේ සාන්ත පීතර කණ්ඩායමේ වයි. එන්. ප්‍රනාන්දුට කහ කාඩ්පතක් ද ලබා දෙමිනි. එම දඬුවම් පහර සාර්ථකව උත්සාහ දිනුමක් බවට පත් කිරීමට හසිත විජේසේකර සමත් විය. එවර ප්‍රවර්තනය සාර්ථක නොවූවද ලකුණු 3කින් පෙරමුණ ගැනීමට ජෝසප් විද්‍යාලය සමත් විය. (සාන්ත පීතර 15 – 18 සාන්ත ජෝසප්)

ශෙනෝල් සිල්වා සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් තරගයේ තීරණාත්මකම උත්සාහක දිනුම වාර්තා කළ අතර සාන්ත පීතර ලකුණු සංඛ්‍යාව ලකුණු 20ක් දක්වා රැගෙන ගියේය. තේනුක නානායක්කාරට අතිරේක ලකුණු 2ක් එක් කිරීමට නොහැකි විය. (සාන්ත පීතර 20 – 18 සාන්ත ජෝසප්)

ප්‍රවේගකාරී මිනිත්තු කීපයක අවසානය සටහන් කරමින් තම කණ්ඩායමට ලකුණු එකකින් පෙරමුණ ගෙන දීමට සාන්ත ජෝසප් කණ්ඩායමේ සන්තුෂ් අල්ගම සමත් වන්නේ ප්‍රබල පීතර කණ්ඩායම මොහොතකට අසරණ කරමිනි. (සාන්ත පීතර 20 – 21 සාන්ත ජෝසප්)

ඉන් මිනිත්තු කීපයකට පසුව සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කළ හසිත වීරසේකරට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කරන්නේ ඔහු එල්ල කළ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙනි.

යුද හමුදාවට නව රග්බි පුහුණුකරුවෙක්

පසුගිය වසරේ ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස කටයුතු කළ නිහාල් “වයිපර්” ගුණරත්න CH&FC කණ්ඩායම සමඟ එකතු වීමත්….

ප්‍රතිවාදීන්ගේ එක් ක්‍රීඩකයෙකුගේ අඩුව ඔවුන්ට ශාපයක් බවට පත්කරමින් තරගයේ නියමිත කාලය අවසන් වනවාත් සමඟින් තවත් දඬුවම් පහරක් ලබා ගැනීමට සාන්ත පීතර කණ්ඩායම සමත් විය. කණ්ඩායම ජයග්‍රහණය කරවීමේ වගකීම තම කර මතට ගත් තේනුක නානායක්කාර පන්දුව ගෝල් කණු අතරින් යැවීමට තීරණය කළේය. සියල්ලන්ගේම හදවත් මොහොතකට නතර කිරීමට සමත් වන වටපිටාවක සාන්ත ජෝසප් කණ්ඩායමෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට තේනුකගේ පා පහර සමත් විය. ඒ සමඟින් නියමිත කාලය අවසන් වූ අතර අවසන් ලකුණු තත්වය ලකුණු 23-21ක් ලෙස දැක්විය.

මෙම ජයග්‍රහණය සාන්ත පීතර කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ දක්වා රැගෙන ඒමට සමත් විය. ‍රාජකීය විද්‍යාලයට මෙවර ශූරතාවය දිනා ගැනීමට නම් සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුය.

අවසන් ලකුණු තත්වය – සාන්ත පීතර විද්‍යාලය 23 (3T 1C 2P) – සාන්ත ජෝසප් විද්‍යාලය 21 (2T 1C 3P)

ThePapare.com තරගයේ වීරයා: බිලාල් හිල්මි

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

  • සාන්ත පීතර: රවීන් ප්‍රනාන්දු 1T, මොහොමඩ් නිස්‍රාන් 1T, ශෙනෝල් සිල්වා 1T, තේනුක නානායක්කාර 1C 2P
  • සාන්ත ජෝසප්: ටෙහාන් කරුණානායක 1T, හසිත විජේසේකර 1T, සංතුශ් අල්ගම 1C 3P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<