Tamil Union අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

Major Club Limited Over Tournament 2022

1287

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා Tamil Union කණ්ඩායම අද (31) සුදුසුකම් ලබා ගත්තා.

කොළඹ 7, SSC ක්‍රීඩා පිටියේ දී Tamil Union සහ CCC කණ්ඩායම් අතර පැවති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ඔවුන් මෙම අවස්ථාව උදා කර ගත්තා.

කාසියේ වාසිය දිනා ගත් Tamil Union නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 238ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි CCC කණ්ඩායමට තම පන්දුවාර 50 අවසන් වන විට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 222ක් පමණයි.

Tamil Union ඉනිමේ දී සදීර සමරවික්‍රම පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 74ක් ලබා ගනිමින් තරගයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුනා. ඔහු සහ නායක ධනංජය ද සිල්වා තෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 94ක්. ධනංජය පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා ගනිමින් Tamil Union ඉනිමට හොඳ ආරම්භයක් ලබා දුන්නා.

කෙසේ වෙතත් Tamil Union ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 30ක් තුළ දවා ගැනීමට CCC පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙනුණා. එහි දී වනිඳු හසරංග ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වුනා. ඊට අමතර ව අශාන් ප්‍රියන්ජන් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු CCC ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුනේ ලක්ෂාන් සඳකැන්. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ එක්දින මංගල අර්ධ ශතකයයි.

ඔහුට අමතර ව මිනෝද් භානුක පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් සහ පවන් රත්නායක පන්දු 51කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ද ලබා ගත්තා.

CCC ඉනිම පාලනය කිරීමේ දී දකුණතින් වේගපන්දු යැවූ ප්‍රමෝද් මධුවන්ත ලකුණු 51කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව දිලුම් සුධීර සහ ඉසුරු උදාන කඩුලු 2 බැගින් ද දවා ගත්තා.

  • Tamil Union – සියලුම දෙනා දැවී 238 (48.4) රොන් චන්ද්‍රගුප්ත 48, සදීර සමරවික්‍රම 74, ධනංජය ද සිල්වා 45, නවෝද් පරණවිතාන 38, අශාන් ප්‍රියංජන් 2/47, වනිඳු හසරංග 4/37
  • CCC – කඩුලු 9ක් දැවී 222 (50) මිනෝද් භානුක 43, අශාන් ප්‍රියංජන් 25, පවන් රත්නායක 39, ලක්ෂාන් සඳකැන් නොදැවී 62, ප්‍රමෝද් මධුවන්ත 4/51, දිලුම් සුධීර 2/40, ඉසුරු උදාන 2/51

මේ අතර පෙර පැවති අවසන් පූර්ව තරගයේ දී Ace Capital පරාජය කළ Sri Lanka Army ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඔවුන් සහ Tamil Union අතර පැවැත්වෙන අවසන් මහා තරගය අගෝස්තු 2 වැනිදා SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<