Major පිටිය කැළඹූ දඟයෝ

SLC Major Club 3 Day Tournament 2023

900

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග පසුගියදා නිමා වූයේ අවසන් මහා තරගය සඳහා SSC සහ Police කණ්ඩායම් සුදුසුකම් ලබා ගනිමින්.  

  Group A  Group B 
  Team  M  W  L  D  NR  PT  Team  M  W  L  D  NR  PT 
1  SSC  10  3  0  6  1  109.1  Police  10  3  0  6  1  114.2 
2  Colts  10  4  1  5  0  99.89  NCC  10  4  1  5  0  107.2 
3  Ragama  10  2  2  4  2  78.0  Ace Capital  10  4  1  5  0  104.2 
4  BRC  10  3  3  3  1  72.46  Tamil  10  1  2  6  1  85.84 
5  CCC  10  2  1  5  2  70.09  Moors  10  3  2  4  1  83.19 
6  Negombo  10  0  3  6  1  68.54  Bloomfield  10  4  1  4  1  81.09 
7  Kandy  10  2  2  5  1  59.30  Baduraliya  10  3  1  4  2  66.96 
8  Nugegoda  10  1  1  8  0  55.69  Chilaw  10  1  4  5  0  55.66 
9  Panadura  10  1  2  6  1  48.14  Kurunegala  10  1  2  5  2  43.25 
10  Galle  10  0  3  6  1  42.29  Air Force  10  0  5  5  0  40.29 
11  Army  10  0  0  8  2  39.9  Sebastianites  10  0  5  3  2  35.95 

(M-Match, W- Won, L- Lost, D- Drown, NR- No Results, PT- Points) 

එක් තරගයක් පමණක් ඉතිරි වූ මෙම තරගාවලියේ මෙතෙක් පෑ දක්ෂතාවන් සමඟින් කාණ්ඩ ප්‍රමුඛයන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර එම තරගය මේ මස 08 වැනිදා සිට සිවු දින තරගයක් ලෙසින් NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

මෙවර තරගාවලියේ දී එක් එක් කාණ්ඩයේ අවසන් කණ්ඩායම් 2ට පළමු පෙළ තරගාවලිය අහිමි වීමේ අවධානමක් පවතින අතර ඒ අනුව A කාණ්ඩයෙන් Galle සහ යුද හමුදාව ද, B කාණ්ඩයෙන් ගුවන් හමුදාව සහ Sebastianites කණ්ඩායම ද මෙම අවධානමට ලක් ව සිටිනවා.  

ඒ කෙසේ වෙතත් මෙතෙක් නිමා වූ තරගාවලියේ දක්ෂතා අතුරින් දඟ පන්දු යවන්නන් ඉදිරියෙන් පසුවීම කැපී පෙණුනා. තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිට 24 වැනි ස්ථානය දක්වා ම දඟ පන්දු යවන්නෝ රැදී සිටීම විශේෂත්වයක්. එමෙන් ම එහි කඩුලු 50 සීමාව අභිබවා ගිය පන්දු යවන්නෝ 6 දෙනෙක් ම රැදී සිටින අතර දක්ෂතා දැක් වූ පළමු 5 දෙනා අතර Ace Capital කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ම රැදී සිටිම ද විශේෂත්වයක්.  

දඟ පන්දු යවන්නන්ගෙන් පසුව මෙම ලැයිස්තුවට පළමු වරට එක් වෙන වේග පන්දු යවන්නා වූයේ BRC කණ්ඩායම නියෝජනය කරන 28 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන මොහොමඩ් ශිරාස්. ඔහු කඩුලු 30ක් ලබා ගනිමින් ඊට එක් වෙනවා.  

අවාසනාවකට මෙන් මෙවර තරගාවලියේ දී කිසිදු පිතිකරුවෙක් ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත් වෙන්නේ නැහැ. එහි වැඩිම ලකුණුලාභියා ලකුණු 800 සිමාව පසු කරන අතර ඊට පසුව එම ලැයිස්තුවට එක් වෙන්නේ ලකුණු 600ක් ඉක්මවා ගිය පිතිකරුවෝයි.  

  • තරගාවලියේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නෝ

මාලින්ද පුෂ්පකුමාර 

තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූයේ පොලිස් කණ්ඩායම නියෝජනය කළ වමතින් දඟ පන්දු යැවූ මාලින්ද පුෂ්පකුමාර. ඔහු මෙවර තරගාවලියේ දී තරග 9ක ඉනිම් 18ක දී පන්දු යවමින් කඩුලු 72ක් ලබා ගැනීමට සමත් වෙනවා.  

ඔහු මේ සඳහා පන්දුවාර 378.5ක් යවනු ලැබූ අතර ප්‍රතිවාදීන්ට ලකුණු 1137ක් ලබා දෙනවා. ඒ අතර කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 8ක් වාර්තා කිරීමට ද ඔහු සමත් වෙනවා.  

මෙවර තරගාවලියේ දී ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නෙ Chilaw Marians කණ්ඩායමට එරෙහිව ලකුණු 63කට ලබා ගත් කඩුලු 7යි. තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ එම තරගයේ දී ම ලකුණු 125කට දවා ගන්නා ලද කඩුලු 12යි.  

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කට සහ එක්දින ජාත්‍යන්තර තරග 2කට ක්‍රීඩා කර ඇති මාලින්ද පුෂ්පකුමාර මේ දක්වා පළමු පෙළ තරග 159කට සහභාගී වෙමින් කඩුලු 935ක් ලබා සිටිනවා.  

අකිල දනංජය 

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි අසුනට හිමිකම් කියන්නේ Colts කණ්ඩායම නියෝජනය කරන දකුණතින් පිට දඟ පන්දු සහ පා දඟ පන්දු යැවීමේ ද දක්ෂතා දක්වන අකිල දනංජයයි. ඔහු තරග 10ක ඉනිම 16ක දී පන්දුවාර 357.2ක් යවමින් කඩුලු 72ක් දවා ගනිමින් එම අසුනට හිමිකම් කියනවා. මෙම කඩුලු ප්‍රමාණය ලබා ගැනීමේ දී ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 1174ක් ලබා දෙනවා. 

මෙවර තරගාවලියේ දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 8ක් වාර්තා කරන අකිල ඒ අතර තම පළම පෙළ ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කිරීමට සමත් වෙනවා.  

ඔහු Ragama කණ්ඩායම සමඟ පැවැති තරගයේ දෙවැනි ඉනිමේ දී ලකුණු 56කට කඩුලු 9ක් දවා ගනිමින් එම දක්ෂතාව සිදු කරනවා. එම තරගයේ දී ලකුණු 156කට කඩුලු 15ක් දවා ගැනීමට ද අකිල සමත් වෙනවා.  

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට, එක්දින ජාත්‍යන්තර තරග 39කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 31කට සහභාගී වී ඇති අකිල මේ දක්වා පළමු පෙළ තරග 72කට ක්‍රීඩා කරමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 283ක්.  

රොෂාන් ජයතිස්ස 

34 වැනි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන  රොෂාන් ජයතිස්ස මෙවර තරගාවලියේ දී කඩුලු 67ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ තෙවැනි අසුනට හිමිකම් කියනවා.  

 Ace Capital කණ්ඩායම නියෝජනය කරන රොෂාන්, මෙම කඩුලු ප්‍රමාණය ලබා ගැනීම වෙනුවෙන් පන්දුවාර 330.0ක් යවනු ලබන අතර ඊට ප්‍රතිවාදීන් ලකුණු 1108ක් ලබා ගන්නවා.  

මෙවර තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Police කණ්ඩායමට එරෙහිව ලකුණු 79කට ලබා ගත් කඩුලු 7 වන අතර ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 7ක් වාර්තා කිරීමට ද ඔහු සමත් වෙනවා.  

මෙතෙක් පළමු පෙළ තරග 75කට ක්‍රීඩා කර ඇති රොෂාන් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 320ක්. පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන රොෂාන් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 1628ක් ලබා සිටිනවා.  

වනුජ සහන් 

Ace Capital කණ්ඩායම නියෝජනය කරන 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන වනුජ සහන් මෙවර තරගාවලියේ දී කඩුලු 62ක් ලබා ගනිමින් කඩුලුලාභීන් අතර සිවු වැනි ස්ථානයට පත් වෙනවා.  

ඔහු මේ වෙනුවෙන් පන්දුවාර 346.2ක් යවනු ලැබූ අතර ඒ තුළ ප්‍රතිවාදීන්ට ලකුණු 1094ක් ලබා දෙනවා. කෙසේ වෙතත් ඔහුගේ මෙම කඩුලු අතරට ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 6ක් වාර්තා කිරීමට ද සමත් වෙනවා. 

මෙවර තරගාවලියේ දී ඔහුගේ හොඳම පන්දු යැවීම පත් වෙන්නේ Tamil Union කණ්ඩායමට එරෙහිව ලකුණු 46කට දවා ගත් කඩුලු 6යි.   

තවමත් පළමු පෙළ තරග 19කට පමණක් ක්‍රීඩා කර ඇති වනුජ මෙවර තරගාවලියේ දී තම පළමු පෙළ කඩුලු 100 කඩඉම පසු කිරීමට ද සමත් වීම කැපී පෙණෙනවා.  

Parvez Rasool 

Badureliya කණ්ඩායම නියෝජනය කරන ඉන්දීයාවේ දකුණතින් පිට දඟ පන්දු යවන Parvez Rasool මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ 5 වැනි ස්ථානයට දක්ෂතා දක්වමිනුයි.  

ඔහු තරග 8ක ඉනිම් 14ක දී පන්දුවාර 361.4ක් යවමින් ලකුණු 1229කට කඩුලු 53ක් ලබා ගන්නවා. එහි දී ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Air Force කණ්ඩායමට එරෙහිව ලකුණු 85කට දවා ගන්නා ලද කඩුලු 8යි. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා. එම තරගයේ දී ඔහු ලකුණු 160කට කඩුලු 13ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ තරගයක හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.  

ඉන්දියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයකට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට සහභාගී වී ඇති Parvez Rasool, මේ දක්වා පළමු පෙළ තරග 95කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 352ක්.  

තරගාවලියේ දක්ෂතා දැක් වූ පිතිකරුවෝ

ලහිරු උදාර 

NCC කණ්ඩායමේ නායකයා ද වන ලහිරු උදාර මෙවර තරගාවලියේ ඉනිම 17ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 828ක්. ඊට ශතක 3ක් සහ අර්ධ ශතක 5ක් ඇතුලත් වෙනවා.  

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති ලහිරු උදාර මේ දක්වා පළමු පෙළ තරග 88කට ක්‍රීඩා කරමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 5855ක්.  

රවිඳු ප්‍රනාන්දු 

Tamil Union කණ්ඩායම නියෝජනය කරන 24 හැවිරිදි වියේ පසුවෙන රවිඳු ප්‍රනාන්දු ඉනිම 13ක දී ලකුණු 686ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට පත් වෙනවා. ඔහුගේ ඉනිම් අතරට ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් ඇතුලත්.  

මේ දක්වා පළමු පෙළ තරග 28කට සහභාගී වී ඇති රවිඳු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1778ක් වන අතර පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 75ක් ද ඔහු සතු වෙනවා.  

නිරෝෂන් දික්වැල්ල 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 54ක්, එක්දින ජාත්‍යන්තර තරග 55ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 28කට ක්‍රීඩා කර ඇති NCC කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල මෙවර තරගාවලියේ දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 669ක්. 

ඊට ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් ඇතුලත්.  

අශේන් බණ්ඩාර 

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 6කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 6කට ක්‍රීඩා කර ඇති Police කණ්ඩායමේ අශේන් බණ්ඩාර මෙවර තරගාවලියේ දී ඉනිම 14ක දී ලකුණු 664ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානයට පත් වෙනවා.  

ශතක 4ක් ඇතුලත් වූ ඔහුගේ ඉනිම් අතර Tamil Union කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 113 ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට පත් වුනා.  

ෂෙවෝන් ඩැනියෙල් 

SSC කණ්ඩායම නියෝජනය කරන 19 හැවිරිදි වියේ පසුවෙන් වමත් පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය හිමි කර ගන්නේ ඉනිම 10ක දී ලබා ගන්නා ලද ලකුණු 637 හේතුවෙන්. ඔහුගේ එම ලකුණු අතරට මෙවර තරගාවලියේ දී වාර්තා වූ එක ම ද්විත්ව ශතකය ද ඇතුලත් වෙනවා.  

Negombo කණ්ඩායමට එරෙහිව පන්දු 180කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සහ හයේ පහර 9ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 209 ඔහු ගේ පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වූවා.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<