බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මූලික ටෙස්ට් සංචිතයක්

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2020

2257
bangladesh test squad

ලබන මස අවසානයේ දී ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 27 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ මූලික ටෙස්ට් සංචිතය ඊයේ (10) නිකුත් විය.

බංග්ලාදේශය මේ නිකුත් කළ සංචිතය තුල ටෙස්ට් කොන්ත්‍රාත් නොමැති ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ඇතුලත්ව සිටින අතර බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි ශකීබ් අල් හසන් සංචිතය සඳහා ඇතුළත්ව නොමැත.

වේගපන්දු යවන්නන් 9 දෙනෙකු මෙම සංචිතය සඳහා ඇතුලත්ව සිටින අතර ප්‍රධාන දඟපන්දු යවන්නන් සිව්දෙනෙක් ද මේ සංචිතය සඳහා ඇතුළත්. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට පෙර මෙම සංචිතය ක්‍රීඩකයින් 20ක් දක්වා අඩු කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් සූදානමින් සිටින බව ද වාර්තා වේ.

තවත් ක්‍රිකට් පුවත්:

“අපේ රජයේ අවසර තාම අපිට ලැබිලා නැහැ ශ්‍රී ලංකා සංචාරයට යන්න. මේක අපේ මූලික පුහුණු සංචිතය විතරයි. ඒ වගේම මේ ක්‍රීඩකයින්ගේ වීසා ලබා ගැනීම සඳහාත් අපි දැන් අයැදුම් කරන්න ඕන. මොකද වෙනදා වීසා ගන්නවා වගේ දැන් ගන්න බැහැ. මේ ක්‍රීඩකයින් 27 ක්‍රීඩකයින් 20ක් දක්වා අඩුකරගෙන තමයි අපි ශ්‍රී ලංකාවට යන්නේ. මේ සංචිතයේ වේගපන්දු යවන්නන් නව දෙනෙක් ඉන්නවා. අපි ශ්‍රී ලංකාවට අවම ලෙස වේගපන්දු යවන්නෝ හය දෙනෙක් රැගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු ප්‍රධානී Minhajul Abedin Cricbuzz වෙබ් අඩවිය වෙත ඊයේ (10) පවසන ලදි.

ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමුණි. මෙම තරගාවලිය ඔක්තෝබර් මස 24 වැනිදා ආරම්භ වීම ස්ථිර නමුත් තරග කාලසටහන සහ තරග පැවැත්වෙන ස්ථාන තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත. 

ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තුන් දින පුහුණු තරගයක් ඔක්තෝබර් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට වැඩි ඉඩක් තිබේ.

කෙසේ නමුත් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම මෙම මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇත. ඒ අනුව රජයේ සහ සෞඛ්‍ය අංශවල රෙගුලාසි සහ ICCය ලබා දී තිබෙන උපදෙස් අනුව කොළඹ සහ පල්ලෙකැලේ ප්‍රදේශවල දී මෙම තරග පැවැත්වීම සඳහා වැඩි ඉඩක් ඇත. ඒ ඊට අවශ්‍ය පහසුකම් එහි තිබෙන නිසාවෙනි.

බංග්ලාදේශ මූලික ටෙස්ට් සංචිතය: මොමිනුල් හක් (නායක), තමිම් ඉක්බාල්, සද්මන් ඉස්ලාම්, සයිෆ් හසන්, ඉම්රුල් කයිස්, සෞම්‍යා සර්කාර්, මුෂ්ෆිකූර් රහීම්, මොහොමඩ් මිතුන්, ලිටන් දාස්, නස්මුල් හසන් ෂැන්ටෝ, මොසැඩෙක් හුසේන්, මහමුදුල්ලා, යසීර් අලී, නුරුල් හසන්, මෙහෙදි හසන් මෙරාජ්, ටයිජුල් ඉස්ලාම්, Sanjamul Islam, නයීම් හසන්, මුස්තාෆිසුර් රහ්මාන්, රුබෙල් හුසේන්, ෂෆියුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ්, අල් අමීන් හුසේන්, සයිෆුදින්, Ebadat Hossain, අබු ජයද්, හසන් මහමුද්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<