ක්‍රිකට් පිටියට පියඹා පැමිණි දකුණු අප්‍රිකානු පියාසැරියා

184
Getty Images

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ තරගයක් බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙමින් තිබුණි. තරගය පැවැත්වුණේ පාකිස්තානු කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරය. 

වර්ෂාවෙන් මුල සිටම බාධා ඇතිවූ මෙම තරගයේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 211කට සීමා කරන්නට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වූහ. දකුණු අප්‍රිකානුවන් ලබා දුන් ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය පාකිස්තානු ඉනිම පන්දුවාර 21.3ක් අවසානයේ කියවුණේ කඩුලු දෙකක් දැවී ලකුණු 74ක් ලෙසිනි. 

නමුත් හදිස්සියේම බ්‍රිස්බේන් නුවරට ඇද හැලුණු වර්ෂාව නිසා පැයකට අධික කාලයක් තරගයට බාධා ඇතිවූ අතර නැවත තරගය ඇරඹෙන විට පාකිස්තානුවන්ට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර තිස් හයකින් ලකුණු 194ක් ලබා ගන්නට සිදුවී තිබුණි. 

පාකිස්තානු නායක ඉම්රාන් ඛාන් සහ කෝඩුකාර ඉන්සමාම් උල්හක් ලෙහෙසියෙන් සටන අතහරින්නට සූදානම් වූයේ නැත. බ්‍රයන් මැක්මිලන් ක්‍රියාත්මක කළ එක් පන්දුවාරයක දී මිඩ් විකට් කලාපය හරහා විශාල පහරක් එල්ල කිරීමට තරුණ ඉන්සමාම් උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. 

පාදයේ වැදුණු පන්දුව කඩුල්ලට මෑතින් පතිත වෙද්දී ඉන්සමාම් ඉක්මන් ලකුණක් කරා සිය නායකයාට අඬ ගැසුව ද ඉම්රාන් කිසිම ආකාරයකින් එවන් අන්තරාදායක ලකුණක් දුවන්නට  සූදානමින් සිටියේ නැත. 

ඉන්සමාම් අඩි කිහිපයක් ඉදිරියට දිවයන ඇසිල්ලේ පොයින්ට් කලාපය හරහා විදුලි වේගයෙන් දිව ආ දකුණු අප්‍රිකානු පන්දු රකින්නෙක් කඩුලු තුනම බිඳ හෙළමින් කඩුල්ල මතට පැන පාකිස්තානුවා දුවද්දී දවා ගැනීමකට හසු කර ගත්තේය.

මෙම දකුණු අප්‍රිකානුවා උඩුගුවනේ පියඹා ගොස් සනිටුහන් කළ පන්දු රැකීමේ වික්‍රමය කැමරා කාචවල මැනවින් සටහන් වී තිබුණි. ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරණය සහ පන්දු යැවීම ගැන පමණක් වැඩි අවධානයක් යොමු කළ සමයක පන්දු රැකීම යන වැදගත්ම අංශය වෙනත්ම මානයකට ගෙන යන්නට ජොනතන් නීල් රෝඩ්ස් නොහොත් අපි කවුරුත් දන්නා ජොන්ටි රෝඩ්ස් නම් සුවිශේෂී දකුණු අප්‍රිකානු පන්දු රකින්නාට හැකියාවක් ලැබුණි.

“1992 ලෝක කුසලානයේ ජොන්ටි ලබා ගත් දුවද්දී දැවී යෑම සදාතනික මතකයක්. ඔහු පාකිස්තානයට එරෙහිව එදා ලබා ගත් දුවද්දී දැවී යෑම අවුරුදු අටක් වූ මගේ මනසේ තදින්ම තැන්පත් වී තිබුණා. ජොන්ටි මෙන් පන්දු රකින්නට ගොස් ඇතිවූ තුවාල කැළල් අදටත් මගේ දණහිස්වල ඇති. පාසලේ දී අපි වැඩියෙන්ම කළ දෙයක් ජොන්ටි ආකාරයෙන් පනිමින් ඒ දුවද්දී දැවී යෑම අනුකරණය කිරීම. 

ඔහු නොදැන සිටියාට ඔහුගෙන් මගේ ක්‍රීඩාවට සිදු වූ බලපෑම අතිමහත්. මට හැමදාම උවමනා කළේ ඔහු වගේ වෙන්න. 

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ මහ මොළකරු ‘ඇතර්ස්’

1995 වසරේ දෙසැම්බර් හතර වැනිදා ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී එංගලන්තය සහ…

මට අවුරුදු එකොළහක් පමණ වෙද්දී සෙන්චූරියන් නුවර සුපර්ස්පෝර්ට්ස් ක්‍රීඩාංගණයේ දී මගේ මුල්ම සජීවී ක්‍රිකට් අත්දැකීම ලැබුවා. එදා මට ලැබුණා කොළ පැහැති තොප්පියක්. එහි කහ වර්ණයෙන් ජොන්ටි කියා ලියා තිබුණා. මා එය පැලඳ ගත්තේ මහත් අභිමානයකින්.

එදා පුහුණු දැලේ දී ජොන්ටි පන්දුවට පහර දෙන ආකාරය මා පසුපසට වී ඉතාම ආසාවෙන් බලා සිටියා. පසුකලෙක මට ඔහුව මුණ ගැහුණා. මම හිතනවා මං මගේ ක්‍රිකට් වීරයා වෙනුවෙන් සාධාරණයක් කළා කියා.”

දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළ සුපිරිතම ක්‍රීඩකයෙකු වන ඒබ්‍රහම් බෙන්ජමින් ඩිවිලියර්ස් තම ක්‍රිකට් ජීවිතයේ වීරයා වන ජොන්ටි රෝඩ්ස් ගැන මතකය ආවර්ජනය කරන්නේ එසේය.

1969 වසරේ ජූලි 27 වෙනිදා නටාල් ප්‍රාන්තයේ පීටර්මරිට්ස්බර්ග් නුවර දී ජොන්ටි උපත ලද අතර ඔහුගේ මව සහ පියා දෙදෙනාම ගුරු වෘත්තියේ යෙදුණෝ වූහ. ශාරීරික අභ්‍යාස ඉගැන්වීමේ යෙදුණ ගුරුවරයෙකු වූ ජොන්ටිගේ පියාගෙන් ක්‍රීඩකයෙකු ලෙස දියුණුවන්නට ජොන්ටිට ලැබුණු ආභාෂය ඉතා විශාල විය.

හැත්තෑව දශකයේ මුල සිට දකුණු අප්‍රිකානුවන්ට ජාත්‍යන්තර කෙළිබිම තහනම් කලාපයක් වූ අතර අංකුර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට වීරයින් ලෙස සලකන්නට කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත. ජොන්ටිට එලෙස ගෙවුණු තම කුඩා කාලය ගැන ඇත්තේ මෙවන් මතකයකි.

“ක්‍රීඩා ලෝකයේ වීරයින් කියා කිසිවෙකු අපිට සිටියේ නැහැ. රූපවාහිනියෙන් හෝ ක්‍රීඩාංගණයකට ගොස් නරඹන්නට දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා තරග පැවැත්වුණේත් නැහැ. අතරින් පතර ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ගෙන්වූ විදේශ ක්‍රිකට් කණ්ඩායම් පමණයි අපිට දැකගත හැකි වුනේ. කොහෙන් හෝ ක්‍රිකට් සඟරාවකින් සොයා ගත් ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර්ගේ ඡායාරූපයක් මගේ කාමරයේ බිත්තියක එල්ල තබා ගත්තා. ජාත්‍යන්තර ක්‍රිකට් ඒ සමයේ අපිට ඒ තරම්ම දුලබයි.

මගේ පියා තරමක් සැර පරුෂ කෙනෙක්. ඔහු ශාරීරික අභ්‍යාස ගුරුවරයෙකු වගේම පාසලේ ප්‍රධානියා ද වුනා. හැම විටම අපිව විනයගරුකව හැඩ ගැස්සවීමට ඔහු වග බලාගත්තා.

ඔහු මට නිතරම කියූ දෙයක් තිබුණා. ජොන්ටි, නිරන්තර පුහුණුව ඔබව පරිපූර්ණ කරයි කියා ඉදිරියේ දී ඔබට හමුවන පුහුණුකරුවන්, උපදේශකයින් හැම කෙනෙක්ම කියාවි. නමුත් හරියාකාරයෙන් කරන නිරන්තර පුහුණුවයි ඔබව සම්පූර්ණ කරන්නේ. 

මට තවත් සහෝදරයින් දෙදෙනෙකු සිටියා. ඔවුන් සමග ක්‍රීඩාවේ යෙදෙද්දී සමහර විටෙක රණ්ඩු ඇතිවීම ඉතාම ස්වාභාවිකයි. ඒ ආකාරයෙන් රණ්ඩු කර ගත් සෑම අවස්ථාවේ දී ම මගේ පියා වේවැලකින් අප තිදෙනාටම තදින් පහර දුන්නා. 

ඔහු පාසලේ දී තබා ගත් වේවැලකට හරියටම සමාන වේවැලක් ගෙදරටත් ගෙනැවිත් තිබුණා. අදාළ වේවැලෙන් පහර කෑ විට තට්ටම් ප්‍රදේශයේ වේවැල් පහර මතුවී පෙනෙන්නට තිබෙනවා. වරක් ඔහු පාසල් දරුවෙකුට පසුපස ප්‍රදේශයට වේගවත් වේවැල් පහරවල් තුනක් එල්ල කළා. තුනම හරියටම එකම ස්ථානයට. මේ දරුවා නිවසට ගොස් පැමිණිලි කර තිබුණා මගේ පියා තෙවරක් ඔහුට වේවැලෙන් පහර දුන් බව. නමුත් එම දරුවාගේ දෙමාපියන් පරීක්ෂා කර බැලීමේ දී දැක තිබුණේ එක පහරක් පමණයි. මගේ පියා එලෙස නිරන්තර පුහුණුවේ යෙදුණේ අපි තිදෙනාට එරෙහිව නිසාම අපි තිදෙනා විනයගරුකව හැදුණා වගේම වේවැලෙන් පහර දීමේ අංශයෙන් ඔහුත් පරිපූර්ණ තත්ත්වයට පැමිණ සිටියා.

ඇත්තටම මම මගේ පියාට ණයගැතියි ඔහු අප වෙනුවෙන් කළ හැමදේකටම. ඔහුගෙන් ලද ආභාෂය නිසා මගේ ක්‍රීඩාවට සෑහෙන පිටිවහලක් වුනා.”

ජොන්ටි සිය පියාගෙන් ලද දායාදය ගැන පවසන්නේ මහත් භක්තියකිනි.

සුපිරි පන්දු රකින්නෙකු ලෙස ලෙහෙසියෙන් නමක් දිනා ගන්නට ජොන්ටිට හැකියාවක් ලැබුණේ අනෙකුත් ක්‍රීඩාවන් ද නිසි ලෙස ප්‍රගුණ කළ බැවිනි. 1992 බාසිලෝනා මෙන්ම 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ දකුණු අප්‍රිකානු හොකී කණ්ඩායම නියෝජනය කරන්නට පවා ජොන්ටි සුදුසුකම් සපුරා සිටියේය. එහෙත් ඒ අවස්ථා දෙකම ඔහුට මග හැරී ගියේ ඉතාම අවාසනාවන්ත ආකාරයකිනි.

“ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව හොකී, පාපන්දු ක්‍රීඩාවල යෙදීම මගේ පන්දු රැකීමට මහත් රුකුලක් වුනා. ඉදිරියට නැමී වේගයෙන් පන්දුවට ආක්‍රමණය කිරීමට මට උපකාරී වූයේ හොකී ක්‍රීඩාව. එමෙන්ම  පිටිය හරහා වේගයෙන් පන්දු කරා යොමු වීමටත් එම ක්‍රීඩාවන්ගෙන් මට ලැබුණේ මහත් පිටිවහලක්. 

මම හැමවිටම උත්සාහ කළේ මගේ කණ්ඩායමට ලකුණු කිහිපයක් ආරක්ෂා කර දීමට. කොලින් බ්ලාන්ඩ් නම් දකුණු අප්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ට පන්දු රකින්නා ගැන මම අසා තිබුනත් කිසිම දිනක ඔහු ක්‍රීඩා කරනවා මා දැක නැහැ. එමෙන්ම පන්දු රැකීම පුහුණු කරවන උපදේශකයින් ඒ දිනවල සිටියේත් නැහැ.

සෑමවිටම පිටියේ නිරන්තර අවධානයකින්, උද්‍යෝගිමත්ව පන්දු රකින්නට එමගින් කණ්ඩායමට දායකත්වයක් දෙන්නටත් මම සෑහෙන කැමතියි.”

ජොන්ටි තමා අද්විතීය පන්දු රකින්නෙකු වීම පිටුපස ඇති සමහර රහස් හෙළි කරන්නේ එහෙමය.

වයස අවුරුදු පනහ ඉක්මවා ගිය ද ජොන්ටි රෝඩ්ස් යනු තවමත් තාරුණ්‍යයට අභියෝග කරන චරිතයකි. දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම මෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හරහා නව පරපුරේ පන්දු රැකීමේ හැකියාව ඔප මට්ටම් කළ ජොන්ටි රෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාව වෙනත් මානයකට ගෙන ගිය අයවළුන්ගෙන් ඉදිරියෙන්ම කියවෙන නමකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<