පහසු ජයක් සමඟින් HNB ක්‍රීඩිකාවෝ ජාතික ශූරතාවයට

Dialog 2023 ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය

416
HNB Dialog National Netball Champions for the 4th consecutive time

අඛණ්ඩව සිව්වැනි වරටත් Dialog Axiata PLC සමාගමේ අනුග්‍රාහකත්වයෙන්, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කළ “Dialog 2023 ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය” ජයග්‍රහණය කරන්නට HNB ක්‍රීඩිකාවන් සමත් වුනා. ඒ 45-28ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පරාජය කරමිනුයි.

ඉකුත් 11 වැනිදා, සෙනසුරාදා, කොළඹ ටොරිංටන් එළිමහන් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 33ක් කාණ්ඩ 4ක් යටතේ තරග වැදුණා.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (12) අවසන් වූ අතර එහි දී පළමු අවසන් පූර්ව තරගය සඳහා සහභාගී වූ HNB ක්‍රීඩිකාවන් විසින් නාවික හමුදා ක්‍රීඩිකාවන් 39-27ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිද්දී, දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩිකාවන් 30-24ක් ලෙස පරාජය කළ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් අවසන් මහා තරගය සඳහා අසුන් වෙන් කර ගත්තා.

>> අවසන් මහා තරගයේ ඡායාරූප ඇල්බමය << 

අද (13) උදෑසන 10.00ට පමණ අවසන් මහා තරගය ආරම්භ වූ අතර තරගයේ ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ HNB ක්‍රීඩිකාවන් විසිනුයි. තරගාවලියේ වසර ගණනක් පුරාවට සාම්ප්‍රදායක ප්‍රතිවාදීන් වන මෙම කණ්ඩායම් දෙක අතර උණුසුම් ආරම්භයක් දැක ගැනීමට අවස්ථාව හිමි වුනත්, පළමු කාර්තුවේ අඩක් නිමා වෙද්දී HNB ක්‍රීඩිකාවන් හොඳ ඉදිරියක් ලබා ගනිමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණා.

ගුවන් හමුදාව සහ HNB කණ්ඩායම් දෙකම අත්දැකීම් සහිත ප්‍රවීණ ක්‍රීඩිකාවන් මෙන්ම යොවුන් ක්‍රීඩිකාවන් ද සමව භාවිතා කරමින් ක්‍රීඩා කළ අතර HNB සතුව ජාතික කණ්ඩායමට නායකත්වය සැපයූ නායිකාවන් දෙදෙනෙකු සිටීම ඉහළ මානසිකත්වයකින් තරගය ක්‍රීඩා කිරීමට ඔවුන්ට මග විවර කළා.

කෙසේ නමුත් පළමු කාර්තුවේ අවසානය වන්නට, මෙතෙක් පැවති අවසන් මහා තරගවල දී නොදුටු තරම් පරතරයක් නිර්මාණය කර ගන්නට HNB ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඒ අනුව 17-09ක් ලෙස පළමු කාර්තුව අවසන් වන්නේ HNB ක්‍රීඩිකාවන් ප්‍රබල ස්ථානයක පසුවෙමිනුයි.

දෙවැනි කාර්තුවේ දී කණ්ඩායම් දෙකම සැලකිය යුතු වේගයකින් ලකුණු වාර්තා කරන ආකාරයක් දිස් නොවුන අතර HNB කණ්ඩායමේ ගෝල විදීමේ ක්‍රීඩිකාව විසින් ලකුණු වාර්තා කිරීමට අවස්ථා කිහිපයක් නිර්මාණය කර ගත් නමුත් ඒවා සාර්ථකව අවසන් කරන්නට ඇයට හැකි වුනේ නැහැ.

නමුත් කණ්ඩායමේ GA (Goal Attacker) ක්‍රීඩිකාව දර්ශිකා අබේවික්‍රම විසින් HNB පුවරුවට ලකුණු එකතු කරන්නට සමත් වුනා. ගුවන් හමුදා කණ්ඩායමේ ඉදිරිපෙළ ආරක්ෂාව තරමක් දුර්වල බවක් දකින්නට ලැබුණු අතර HNB පසුපෙළ ආවරණය තරමක් ලිහිල් බවක් දිස්වුනත් එයින් නිසි ප්‍රයෝජනය ලබා ගන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනේ නැහැ.

ඒ අනුව දෙවැනි කාර්තුව සමඟින් තරගයේ පළමු අර්ධය නිමාව දුටුවේ ලකුණු 28-11ක් ලෙසයි.

දැඩි හිරු රශ්මියක් යටතේ දෙවැනි අර්ධය ආරම්භ වූ අතර තෙවැනි කාර්තුව ආරම්භයේ දී ම ලකුණු 17ක පරතරයක් නිර්මාණය කරගන්නට HNB ක්‍රීඩිකාවන් සමත් වුනේ ලකුණු තත්වය 30-13ක් දක්වා වර්ධනය කර ගනිමිනුයි.

ගුවන් හමුදාව ලකුණු පිපාසයෙන් ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබුණු අතර ඔවුන්ගේ පිටිය මැද ආක්‍රමණයන් හොඳ මට්ටමක තිබුනත්, විදුම් කණුව ආසන්නයේ දී ඒවා දියාරු වන බවක් දක්නට ලැබුණා. කණ්ඩායමේ දෙකේම පන්දු විදින්නියන් විසින් ලකුණු ලබා ගැනීමේ දී දක්වන දුර්වලතා මෙම කාර්තුව පුරාවටත් දක්නට ලැබුණා.

කෙසේ නමුත් තෙවැනි කාර්තුව අවසන් වන විට HNB ක්‍රීඩිකාවන් තවත් ලකුණු 9ක් පමණක් සිය ලකුණු පුවරුවට එකතු කර ගනිද්දී, ගුවන් හමුදාව ලකුණු 8ක් සිය ලකුණු පුවරුවට එකතු කරගන්නට සමත් වුනා.

තරගයේ වඩාත් තීරණාත්මකම කාර්තුව හෙවත් සිව්වැනි කාර්තුවේ දීත් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නේ HNB ක්‍රීඩිකාවන් විසිනුයි. ඔවුන් විසින් ලබා ගෙන තිබෙන පරතරයත් සමඟින් එතරම් පීඩනයකින් තොරව නිදහසේ ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසින් තරගය ගිලිහී ගොස් තිබෙන බවක් මෙම කාර්තුවේ දී දක්නට ලැබුණා.

කෙසේ නමුත් කණ්ඩායම් දෙකේ ම දක්ෂතාවල අඩුවක් දක්නට නොලැබුණේ කණ්ඩායම් දෙකම අත්දැකීම් සහිත ප්‍රවීණ ක්‍රීඩිකාවන් මෙන්ම යොවුන් ක්‍රීඩිකාවන්ගේ සම්මිශ්‍රණයකින් යුක්ත වීම නිසා විය යුතුයි. නමුත් ඔවුන්ගේ උත්සාහයන් ලකුණු ලෙසින් අවසන් කර ගැනීමට නොහැකි වීම කැපී පෙනුණා.

ඒ අනුව, ගිය වසරේ ලකුණු 2කින් ශූරතාවය තීරණය වූ අවසන් මහා තරගය මෙවර ලකුණු 17ක පරතරයක් සහිතව නිමාව දුටුවේ HNB ක්‍රීඩිකාවන් අඛණ්ඩව සිව්වැනි වරටත් ජාතික දැල්පන්දු ශූරතාවය සඳහා හිමිකම් කියමිනුයි.

පළමු කාර්තුව දෙවැනි කාර්තුව තෙවැනි කාර්තුව සිව්වැනි කාර්තුව අවසන් ලකුණු
HNB 17 11 09 08 45
ගුවන් හමුදාව 09 02 08 09 28

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන තරගය අද උදෑසන 8.00 පමණ මෙම ක්‍රීඩා පිටියේ දී ම ආරම්භ වුනේ යුද හමුදාව සහ නාවික හමුදාව අතරයි. එහි දී ලකුණු 52-66ක් ලෙස තෙවැනි ස්ථානය ජයග්‍රහණය කරන්නට නාවික හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා.

  • ශූරතාවය – හැටන් නැෂනල් බැංකු (HNB) කණ්ඩායම
  • අනුශූරතාවය – ශ්‍රී ලංකා ගුවන් හමුදාව
  • තෙවැනි ස්ථානය – ශ්‍රී ලංකා නාවික හමුදාව
  • දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව – ගයාංජලී අමරවංශ (HNB)
  • දක්ෂතම විදින්නිය – උමංගා ද සොයිසා (HNB)
  • දක්ෂතම රකින්නිය – මල්මි හෙට්ටිආරච්චි (HNB)
  • දැල්පන්දු රැජින – ගයනි දිසානායක (HNB)

තරගාවලියේ ශූරතාවය දිනු HNB කණ්ඩායමට මෙන්ම තරගාවලිය පුරාවට දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් සියලු දෙනට ThePapare.com හි උණුසුම් සුබ පැතුම්!

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<