ජොන්ටි රෝඩ්ස්ට නව පුහුණුකරු තනතුරක්

679

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ස්වීඩන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත් කරගෙන ඇති බව වාර්තා වේ. ස්වීඩන් ක්‍රිකට් සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව එය තහවුරු විය.

ගෙවී ගිය වසර දෙකක කාලය තුල ස්වීඩනය තුල ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් වේගයෙන් ප්‍රචාරණය වෙමින් තිබෙන බව එරට ක්‍රිකට් සංගමය විසින් එහි සඳහන් කර තිබෙන අතර ඔවුන්ගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට අමතරව කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ දෙවන පෙළ ක්‍රීඩකයින් ඉතාමත් උනන්දුවෙන් ක්‍රීඩාවේ නියැලෙන බව ද එහි සඳහන් කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

“ස්වීඩන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මාව තෝරාගැනීම පිළිබඳව මම එරට ක්‍රිකට් ආයතනයට ගොඩක් ස්තූතිවන්ත වනවා. දැන් එළඹිලා තියෙන්නේ මගේ පුහුණු දිවියේ හොඳම කාලය කියලා මම විශ්වාස කරනවා. මොකද මම මේ වෙනකන් ලබාගත්ත අත්දැකීම් සහ දැනුම ගොඩක් තියෙන නිසා මට ස්වීඩන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ලොකු සේවයක් කරන්න පුළුවන් වෙයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. 

ඔවුන්ගේ රටට ගිහිල්ලා පුහුණුවීම් ආරම්භ කරනකන් මම ගොඩක් ආසාවෙන් ඉන්නේ, මොකද ස්වීඩන් ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ක්‍රිකට්වලට අලුත් රටක් අලුත් කණ්ඩායමක්. ඒ වගේම ඒ රටේ පරිසරයත් ගොඩක් වෙනස්” යැයි වයස අවුරුදු 51ක් හැවිරිදි ජොන්ටි රෝඩ්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන ලදි.

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ජොන්ටි රෝඩ්ස් තරගාවලිය අවසන් වූ වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ස්වීඩන් බලා ගොස් සිය තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ඇත.

1992 වසරේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නා ජොන්ටි රෝඩ්ස් ටෙස්ට් තරග 52කට සහ එක්දින තරග 245ක දී ක්‍රීඩකයෙක් ලෙස සිය රට නියෝජනය කරමින් තරග රටා දෙක තුලම ලකුණු 8467ක් වාර්තා කරගෙන ඇත. ඔහු පිතිකරුවෙක් වුවත් ඔහු බොහෝ ප්‍රේක්ෂකයින් අතර ප්‍රසිද්ධියට පත්වූයේ දක්ෂ පන්දු රකින්නෙක් ලෙසයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<