පැතුම් නිස්සංක සහ මහීෂ් තීක්ෂණට උසස් වීම්

5051

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිදු කරන ලද නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව වනිඳු හසරංගව අභිබවා ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දක්වන ලද දක්ෂතා අනුව 13 වැනි ස්ථානයේ රැඳී සිටි දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණෙන විට, වනිඳු හසරංග 9 වැනි ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.

මේ දක්වා පැවති ආසියානු කුසලාන තරග 4ක දී කඩුලු 3ක් දවා ගැනීමට සමත්ව සිටි තීක්ෂණගේ පන්දුවාරයකට ලකුණු ලබා දීමේ සාමාන්‍යය 7.25ක් ලෙස සටහන් වෙනවා.

ලොව අංක එකේ විස්සයි විස්ස දඟපන්දු යවන්නා ලෙස ද පත්ව සිටි වනිඳු ආසියානු කුසලාන තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ රැඳී සිටියා.

මේ අතර ශ්‍රී ලංකා ආරම්භක දකුණත් පිතිකරු පැතුම් නිස්සංක ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි තැනට පැමිණ තිබෙනවා. ඉන්දියාවට එරෙහිව වාර්තා කර ගන්නා ලද අමතක නොවන සුපිරි තරග ජයග්‍රහණයේ දී පන්දු 37කට මුහුණ දුන් නිස්සංක 6 පහර 2ක් සහ 4 පහර 4ක් සමඟ ලකුණු 52ක් ලබා ගත්තා.

මේ වන විට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබාගෙන තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය හෙට (9) පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<