මහීෂ් තීක්ෂණ සහභාගි වන SA20 වෙන්දේසිය සැප්තැම්බරයේ

දකුණු අප්‍රිකානු නව විස්සයි විස්ස ලීගය 'SA20'

475

දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන නව විස්සයි විස්ස ලීග් තරගාවලිය ‘SA20’ ලෙස නම් කර තිබෙනවා.

තරගාවලියේ ප්‍රධාන සංවිධායක Graeme Smith ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක දී මේ පිළිබඳව නිවේදනය කළා.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, 2023 ජනවාරි – පෙබරවාරි කාලසීමාවේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.

තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්වන අතර එම කණ්ඩායම් 6 ම IPL කණ්ඩායම් හිමිකරුවන්ගේම කණ්ඩායම් වීම විශේෂත්වයක්. එම කණ්ඩායම් සියල්ලම මේ වන විට marquee ක්‍රීඩකයින් දෙදෙනෙක්ගේ සිට පස්දෙනෙක් දක්වා සංඛ්‍යාවක් සිය කණ්ඩායම් වෙත එක් කරගෙන තිබෙනවා. සෑම කණ්ඩායමකටම ඇමරිකානු ඩොලර් මිලියන 2 බැගින් වූ සීමාවක් යටතේ උපරිම ක්‍රීඩකයින් 17 දෙනෙකු මිලට ගත හැකියි.

Marquee ක්‍රීඩකයින් කාණ්ඩය යටතේ Johannesburg Super Kings කණ්ඩායම ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය කණ්ඩායමට එක් කරගෙන තිබීම විශේෂත්වයක්.

සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් 7ක් හා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 10ක් බැගින් මිල දී ගැනීමට හැකියාව තිබෙනවා. තරගයක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනා තුළට ක්‍රීඩා කළ හැක්කේ විදෙස් ක්‍රීඩකයින් 4 දෙනෙකු පමණයි.

තරගාවලියේ තරග සැලැස්ම ඉදිරියේ දී නිවේදනය කිරීමට නියමිත අතර තරගාවලිය සඳහා තරග 33ක් ඇතුළත් වනවා. සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමඟ සත්කාරක හා සංචාරක ලෙස තරග දෙක බැගින් ක්‍රීඩා කරන අතර අවසන් පූර්ව තරග දෙකක් හා අවසන් මහා තරගයකින් තරගාවලිය නිමා වෙනවා.

cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<