Home Sinhala සුපිරි 4 වටයට ශ්‍රී ලංකාවෙන් සුපිරි ආරම්භයක්

සුපිරි 4 වටයට ශ්‍රී ලංකාවෙන් සුපිරි ආරම්භයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

378

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සාජා හිදී අද (3) නිමාව දුටුවා.

එහි දී ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂ ක්‍රීඩා විලාසය සහ ඇෆ්ගනිස්ථානයේ පන්දු රැකීමේ දුර්වලතා නිසාවෙන් කඩුලු 4ක ජයක් සමඟින් සුපිරි 4 වටයට සුපිරි ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළා. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වුණු පළමු තරගයේ දී ම ඇෆ්ගනිස්ථානය හමුවේ දරුණු පරාජයක් විඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වූ නමුත් බංග්ලාදේශය පරාජය කරමින් සුපිරි 4 වටයේ සිය අසුන වෙන්කරගත් ශ්‍රී ලංකාව සුපිරි 4 වටයේ මේ තීරණාත්මක තරගයට පිවිසියේ ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව නිමා වූ බංග්ලාදේශ තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකරමින් මේ තරගයට අවතීර්ණ වන විට, අසනීප වී සිටින Azmatullah Omarzai වෙනුවට අත්දැකීම් බහුල ක්‍රීඩක Samiullah Shinwari මේ තරගය සඳහා කැඳවීමට ඇෆ්ගනිස්ථානය තීරණය කොට තිබුණා.

තරග කළ කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis (wk), Charith Asalanka, Dhanushka Gunathilake, Bhanuka Rajapaksa, Dasun Shanaka (c), Wanindu Hasaranga, Chamika Karunaratne, Asitha Fernando, Maheesh Theekshana, Dilshan Madushanka
  • ඇෆ්ගනිස්ථානය – Hazratullah Zazai, Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Najibullah Zadran, Mohammed Nabi (c), Karim Janat, Rashid Khan, Samiullah Shinwari, Naveen-ul-Haq, Mujeeb Ur Rahman, Fazalhaq Farooqi

ඇෆ්ගනිස්ථාන ඉනිම ආරම්භ කරමින් Zazai සහ කඩුලු රකින පිතිකරු Gurbaz පන්දු 29ක් තුල ලකුණු 46ක සබඳතාවයක් ගොඩනංවමින් Powerplay අවස්ථාව තුල පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූවා.

කෙසේ නමුත් ලකුණු 8ක් ලබාගෙන සිටිය දී Gurbazගේ කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ නමුත් එම උඩ පන්දුව රැකගැනීමේ දී 4 සීමාවේ ගුණතිලකගේ පාදය වැදීම නිසාවෙන් Gurbazට තවදුරටත් කඩුල්ල තුල රැඳී සිටීමට වාසනාව ලැබුණා.

පන්දු 16ක දී ලකුණු 13ක් ලබාගෙන සිටි Zazaiගේ කඩුල්ල දවා ගත් මදුශංක ඇෆ්ගනිස්ථාන පළමු කඩුල්ලේ සබඳතාවය බිඳ දැමුවා. Powerplay අවස්ථාව තුල කඩුල්ලක් පමණක් දැවී ලකුණු 49ක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුනු අතර එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු පීඩනයකින් තොරව රිසි සේ පන්දුවට පහර දුන් Gurbaz ලැබුණු වාසනාවන්ත අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස දිවියේ ලබා ගත් 5 වැනි අර්ධ ශතකය වාර්තා කරන්නට සමත් වුනා.

Gurbaz සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ Ibrahim Zadran පන්දු 64ක් තුල ලකුණු 93ක් ලබාගෙන දැවැන්ත ලකුණක් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළ අතර එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුව පාලනය කිරීමේ දී දැක්වූ දුර්වලතාවය ද ඔවුන්ට විශාල සවියක් වුනා.

පන්දු 22ක් තුල සිය අර්ධ ශතක වාර්තා කර ගත් Gurbaz ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ක්‍රීඩකයෙක් වාර්තා කරන ලද දෙවැනි වේගවත්ම අර්ධ ශතකය වාර්තා කර ගත් අතර Gurbaz පන්දු 45ක් තුල 4 පහර 4ක් සහ පිටිය සිසාරා එල්ල කරන ලද දැවැන්ත 6 පහර 6ක් සමඟ ලබා ගත් වේගවත් ලකුණු සංඛ්‍යාව 84ක්.

ඉන් පන්දු කිහිපයකට පසුව මදුශංකගේ පන්දුවක් හමුවේ අසිත වෙත උඩ පන්දුවක් ලබා දුන් Ibrahim Zadran ලකුණු 40කට දැවී ගියා.

පන්දුවාර 17කුත් පන්දු 2ක් අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 151ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක තිබූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සිය ඉනිමේ තීරණාත්මක සහ වැදගත්ම අවසන් පන්දු 16 තුල කඩුලු 3ක් දැවී ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ ලකුණු 24ක් පමණයි.

එහි දී ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳින් නැවත වතාවක් තරගයට අවතීර්ණ වන්නට හැකියාවක් ලැබුණා. නායක ශානක මේ තරගයේ දී වෙනස්ම ආකාරයකින් සිය පන්දු යවන්නන් කළමනාකරණය කර ගත් අතර වනිඳු Powerplay අවස්ථාව තුල පන්දුවාරයක් යොමු කිරීම සහ 17, 19 වැනි අවසන් පන්දුවාර දෙකක් සහ ආරම්භක පන්දුවාරය තීක්ෂණ ක්‍රියාත්මක කිරීම වැනි සැලසුම් ඒ අතර ඉදිරියෙන්ම තිබුණා.

අවසානයේ දී ඇෆ්ගනිස්ථානය සිය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 175ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී සිය තෙවැනි විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ මදුශංක කඩුලු 2ක් දවා ගත්තා. තීක්ෂණ සහ අසිත එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ පෙරදැරිව මෙන්ඩිස් සමඟ පැමිණි නිස්සංක නැවත වතාවක් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනංවමින් පන්දු 39ක් තුල ලකුණු 62ක සබඳතාවයක් ගොඩනැංවූවා.

Powerplay අවස්ථාව තුල දී ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 57ක් ලබා ගත් අතර ඉනිමේ පළමු කඩුල්ල ලෙස පන්දු 19ක දී ලකුණු 26ක් ලබා ගත් මෙන්ඩිස් දවා ගැනීමට Naveen-ul-Haq සමත් වුනා. මෙන්ඩිස්ගේ ඒ ප්‍රහාරාත්මක ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 3ක් ඇතුළත්.

මෙන්ඩිස්ගේ දැවී යාමට පසුව අනෙක් අන්තයෙන් සිය පිති ප්‍රහාරය දියත් කළ නිස්සංක 4 පහර 3ක් සහ 6 පහරක් සමඟ ලකුණු 35ක් ලබා ගත් අතර ඔහුට ඒ සඳහා පන්දු 28ක් වැය වුනා.

කෙසේ නමුත් අංක 3 පිතිකරු ලෙස පිටියට අවතීර්ණ වුනු අසලංකට මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල තවදුරටත් සාර්ථක නොවූ පිතිකරුවෙක් වීමට සිදු වෙමින් ලකුණු 8කට දැවී ගියා.

ඉන් අනතුරුව ගුණතිලක, ශානක සහ රාජපක්ෂ අංක 4, 5 සහ 6 පිතිකරුවන් ලෙස පිටියට පැමිණ ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ගේ සැලසුම් සියල්ල විනාශ කොට දැමුවා. එහි දී ගුණතිලක සහ රාජපක්ෂ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 15ක් තුල ගොඩනැංවූ ලකුණු 32 සබඳතාවය ශ්‍රී ලංකා ලකුණු සටහන වේගවත් කළා.

රාජපක්ෂ පන්දු 14ක දී ලකුණු 31ක් ලබා ගන්නා විට ගුණතිලක පන්දු 20ක දී ලකුණු 33ක් ලබා ගත්තා. කෙසේ නමුත් අවසානයේ දී පන්දුවාර 19කුත් පන්දුවක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 179ක් ලබාගෙන මේ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනු අතර එය සාජා පිටියේ දී කණ්ඩායමක් හඹා ගොස් විස්සයි විස්ස තරගයක් ජය ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා පොත් අතරට පිවිසියා.

පන්දු යැවීමේ දී Mujeeb සහ Naveen-ul-Haq කඩුලු 2ක බැගින් දවාගෙන දස්කම් දැක්වූ නමුත්, විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථා නිසි ලෙස භාවිතා නොකිරීම සහ උඩපන්දු රැකීමේ දී දැක්වූ දුර්වලතා ඔවුන්ට විශාල පාඩුවක් වුනා.

තරගයේ වීරයා – Rahmanullah Gurbaz

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ මීළඟ තරගය හෙට (4) ඉන්දියාව සහ පාකිස්තානය අතර ඩුබායි හිදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 6 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

Result


Sri Lanka
179/6 (19.1)

Afghanistan
175/6 (20)

Batsmen R B 4s 6s SR
Hazratullah Zazai b Dilshan Madushanka 13 16 2 0 81.25
Rahmanullah Gurbaz c Wanidu Hasaranga b Asitha Fernando  84 45 4 6 186.67
Ibrahim Zadran c Asitha Fernando  b Dilshan Madushanka 40 38 2 1 105.26
Najibullah Zadran run out (Wanidu Hasaranga) 17 10 1 1 170.00
Mohammad Nabi c & b Maheesh Theekshana 1 4 0 0 25.00
Rashid Khan run out (Pathum Nissanka) 9 7 0 1 128.57
Karim Janat not out 0 1 0 0 0.00


Extras 11 (b 0 , lb 1 , nb 1, w 9, pen 0)
Total 175/6 (20 Overs, RR: 8.75)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 29 1 7.25
Asitha Fernando  4 0 34 1 8.50
Dilshan Madushanka 4 0 37 2 9.25
Wanidu Hasaranga 4 0 23 0 5.75
Chamika Karunaratne 2 0 29 0 14.50
Dasun Shanaka 2 0 22 0 11.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Rahmanullah Gurbaz b Mujeeb ur Rahman 35 28 3 1 125.00
Kusal Mendis c Naveen ul Haq b Ibrahim Zadran 36 19 2 3 189.47
Charith Asalanka b Mohammad Nabi 8 14 0 0 57.14
Dhanushka Gunathilake b Rashid Khan 33 20 2 2 165.00
Dasun Shanaka c Najibullah Zadran b Mujeeb ur Rahman 10 9 1 0 111.11
Bhanuka Rajapaksa b Naveen ul Haq 31 14 4 1 221.43
Wanidu Hasaranga not out 16 9 3 0 177.78
Chamika Karunaratne not out 5 2 1 0 250.00


Extras 5 (b 0 , lb 2 , nb 0, w 3, pen 0)
Total 179/6 (19.1 Overs, RR: 9.34)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 3.1 0 34 0 10.97
Mujeeb ur Rahman 4 0 30 2 7.50
Naveen ul Haq 4 0 40 2 10.00
Rashid Khan 4 0 39 1 9.75
Mohammad Nabi 4 0 34 1 8.50



ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<