මේසපන්දුව දියුණු කරන්නට ක්‍රීඩා අමාත්‍යංශය ගිවිසුම්ගත වෙයි

135

ජාතික ක්‍රීඩා කවුන්සිලය විසින් ප්‍රමුඛතා ක්‍රමවේදයක් මත පදනම්ව වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම අරමුණු කර හඳුන්වා දුන් ඉහළ කාර්ය සාධන වැඩසටහන යටතේ ක්‍රීඩා අමාත්‍යංශය සිය 06 වැනි ඉහළ කාර්ය සාධන ගිවිසුම ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සමඟින් ඊයේ (09) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අත්සන් තැබීය. 

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා මේසපන්දු  සංගමයේ සභාපති රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

මේසපන්දු ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රුපියල් 35,163,106/-ක මුදලක් මෙලෙස ප්‍රදානය කෙරිණි.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කළ ක්‍රීඩාවන්ට මූල්‍ය ආධාර ප්‍රදාන කරමින් එම ක්‍රීඩාවල ජාතික සංගම් සමඟ ගිවිසුම්ගතවීම මේ වන විට ක්‍රියාත්මකය.

එහි දී අමාත්‍යවරයා මෙසේ ද කීය.

මේසපන්දු සංගමයේ සභාපති රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු සංගමයේ නිලධාරීන් සහ මහේල ජයවර්ධන මහතා ප්‍රමුඛ ජාතික ක්‍රීඩා කවුන්සිලය සමඟ සාකච්ඡා කර මේසපන්දු ක්‍රීඩාව සඳහා බණ්ඩාරගම උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයත්, එම මධ්‍යස්ථානය තුළ අපේ කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළේ සැලැස්මත් සකස් කළා.

පසුගිය වසර ගණනාව තුළ මේසපන්දු ක්‍රීඩාවෙන් අපේ රට ජාත්‍යන්තරයේ විශිෂ්ට තැනකට ගේන්න හැකි වී තිබෙනවා. අපි අපේක්ෂා කරනවා ඉදිරි කාලසීමාව තුළ පළවෙනි, දෙවෙනි තැනට කණ්ඩායමක් විදියට මේසපන්දු ක්‍රීඩකයින්ව ඔසවා තබන්න.

මේසපන්දු සංගමය සමඟ ගිවිසුම්ගතවීමත් සමඟ මේ වන විට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රීඩා කවුන්සිලය එක්ව උසස් දක්ෂතා දක්වන ක්‍රීඩා සංචිත 06ක් සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා. 

ඒ වගේම ජාත්‍යන්තර පදක්කම් දිනා ගත හැකි ලෙස හඳුනා ගත් තවත් ක්‍රීඩා කිහිපයක් මේ සති කිහිපය තුළ ගිවිසුම්ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි අපේක්ෂා කරනවා අවම වශයෙන් ක්‍රීඩා 20ක් ගිවිසුම්ගත කරන්න.

මීට අමතරව මලල ක්‍රීඩාවල සහ අනෙක් ක්‍රීඩා ඉසව්වල උසස් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙක් හඳුනා ගෙන ඔවුන්ව දීමනාවක් සහිතව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගත කර තිබෙනවා. 

දිගු කාලීන ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යන ගමන් මේ ක්‍රීඩකයින් වෘත්තීමය ක්‍රීඩකයින් බවට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. 

මේසපන්දු සංගමය සඳහා ස්ථීරවම බණ්ඩාරගම ක්‍රීඩා සංකීර්ණය ලබා දී තිබෙනවා. එය මේසපන්දු ක්‍රීඩකයින් සඳහා විශේෂයෙන් සැකසූ ක්‍රීඩාගාර, පිහිනුම් තටාකයක් මෙන්ම කායවර්ධන මධ්‍යස්ථානයකින් ද  සමන්විතයි.

රුපියල් මිලියන 20ක මුදලක් වෙන්කරලා තියෙනවා. ඩෝමෙට්‍රිය හදන්න අවශ්‍ය මුදලත් මේසපන්දු සංගමය හරහා අපි ලබා දෙනවා.

ඉතිහාසයේ ප්‍රථම වතාවට වසරකට රුපියල් ලක්ෂ 350ක මුදලක් උසස් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පහසුකම් සඳහා මේසපන්දු සංගමය වෙත ලබා දී තිබෙනවා.

මේ රුපියල් ලක්ෂ 350ට අමතරව මේසපන්දු සංගමය වෙත අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් අපි ලබා දී තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නේවාසික පහසුකම් මේ වසර තුළ ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාව සඳහා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලධාරි පිරිසක් සහභාගි වූහ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<