Hardik Pandya ශ්‍රේණිගත කිරීම්වල මුල් පහට

ආසියානු කුසලානය 2022

1309

පසුගිය ඉරිදා (28) පැවති 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය වූ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ දී දැක්වූ තුන් ඉරියව් දස්කම් සමඟින් ඉන්දීය ක්‍රීඩක Hardik Pandya ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල, ස්ථාන අටක් ඉදිරියට පැමිණෙමින් පස්වැනි ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

මෙය මෙතෙක් ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමක ලද ඉහළම ස්ථානය වනවා. එම තරගයේ දී තීරණාත්මක පන්දු යැවීමක නිරත වෙමින් තම පන්දුවාර හතර තුල දී ලකුණු 25කට කඩුලු තුනක් දවා ගත් Pandya ප්‍රමුඛ ඉන්දීය පන්දු බල ඇණිය පාකිස්තානය පන්දුවාර 19කුත් පන්දු 5ක දී ලකුණු 147කට සීමා කිරීමට සමත් වුනා.

ඒ වගේම පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමේ දී පාකිස්තානයේ ප්‍රබල පන්දු යැවීම ඉදිරියේ යම් තාක් දුරකට පසු බසිමින් සිටි ඉන්දීය කණ්ඩායමට නැවතත් ජයග්‍රහණයේ පහස විඳින්නට ඉඩ සලසවමින් Pandya පන්දු 17ක් තුල දී නොදැවුනු ලකුණු 33ක් රැස් කරගනු ලැබුවා.

මෙම වසර පුරාවටම මෙලෙස දස්කම් අතර රැඳී සිටීමට Hardik Pandya විසින් සමත් වන අතරේ, වසරේ මුල භාගයේ දී මංගල IPL තරගාවලියට ක්‍රීඩා කළ Gujarat Titans කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය කරා මෙහෙය වන්නට ද Pandya සමත් වුනා. එහිදී ද නායකත්වයේ වගකීමට අමතරව සිය තුන් ඉරියව් දක්ෂතාවලින් ද කණ්ඩායම ශක්තිමත් කිරීමට Pandyaට හැකි වුනා.

2022 IPL තරගාවලියෙන් පසුව මෙතෙක් පැවති විස්සයි විස්ස තරග 14ක් තුල 33.88ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් ලකුණු 314ක් රැස් කරගෙන සිටින Pandya, එංගලන්තයට එරෙහිව ලකුණු 33කට කඩුලු 4ක් බිඳ හෙලමින් සිය පෞද්ගලික හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ තම කඩුලු මල්ලට තවත් කඩුලු 11ක් එකතු කරගන්නා අතරතුර දීයී.

මෙම තරග 14න් තරග තුනක නායකත්වයේ වගකීම ද Pandya විසින් දරනු ලැබූ අතර ඉන් තරග දෙකක් අයර්ලන්තයට එරෙහිව ද, අනෙක් තරගය බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ද ජයග්‍රාහී ලෙස අවසන් කරන්නට Pandya සමත් වුනා.

“මම පන්දු යවන්නේ හරිම සරල සැලැස්මක් එක්කයි, වෙන කිසිම දෙයක් නෙවෙයි, මම කොහොමද පන්දුව පාලනය කරන්නේ කියන දේයි වැදගත්. තරගය හොඳින් කියවමින් අවස්ථානුකූලව තමන් සතුව ඇති ආයුධ කල්පනාකාරීව භාවිත කිරීම පමණයි මම කරන්නේ. පිටියේ හොඳ තැන්වලට තදින් පන්දුව පතිත කිරීම තමයි මම නිතරම භාවිත කරන උපක්‍රමය. නමුත් මම එය උපායශීලීව කළ යුතුයි, පිතිකරුවා වැරදි පහරකට පොලඹවා ගන්නයි මම නිතරම උත්සහ කරන්නේ.”

පාකිස්තානයට එරෙහිව තමන්ගේ පන්දු යැවීම පිළිබඳව Star Sports වෙත අදහස් දක්වමින් Pandya එසේ පවසනු ලැබුවා.

තවදුරටත් තමන්ගේ පිතිකරණය පිළිබඳ අදහස් දක්වමින් Pandya කියා සිටියේ,

“මගේ පිතිකරණය ගැන කියනවා නම්, මේ ගෙවුණු අවුරුදු ගණන පුරාවට මම තේරුම් ගත්තු දෙයක් තමයි මට සන්සුන්ව ක්‍රීඩා කළ හැකි තරමට, මගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට මට ඉඩ ලැබෙන බව.

මෙවැනි හඹා යාම්වල දී මම ගන්න සමහර අවදානම් සහගත තීරණවල අවදානම් බව අවම කරවන්න සන්සුන් වීම ඉතාම ඉවහල් වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය අපිට සාර්ථක තරගාවසානයක් කරා යා හැකි වීමයි.”

espncricinfo ඇසුරෙනි.

`    >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<