ලොකු කුසල්ගේ සැත්කම සාර්ථකයි

1949

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය වෙනුවෙන් සිදු කළ සැත්කම ඊයේ (01) එක්සත් රාජධානියේ දී සාර්ථකව අවසන් ව තිබුණා.

උරහිසේ ඇතිව තිබූ දීර්ඝ කාලීන ආබාධය නිසාවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් ව සිටීමට සිදු වූ අතර ඔහු අවසන් වරට ක්‍රීඩා පිටියේ දැක ගැනීමට හැකි වුනේ පසුගිය වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දීයි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව දෙස බැලීමේ දී නිරන්තරයෙන් මතකයට එන නාමයක් වන කුසල් පෙරේරා සනත් ජයසූරියගේ පිතිකරණයට සමාන පිතිකරණ රටාවක් පෙන්නුම් කරන නිසාවෙන් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත් වූ පිතිකරුවෙක්.

සීමිත පන්දුවාර පිටියේ ශ්‍රී ලංකාව සතු වූ ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු වන කුසල් පෙරේරා ටෙස්ට් තරග පිටියේ ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනේ දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී නොදැවී ලකුණු 153ක් ලබා ගනිමිනුයි.

නමුත් 2021 වසර ඔහුට එතරම් සුබදායී වසරක් නොවූ අතර සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයට පත් වූ කුසල් බංග්ලාදේශ සහ එංගලන්ත තරගාවලිවල දී ශ්‍රී ලංකාව මෙහෙය වූවත් එම තරගාවලි ඉතා දුර්වල ලෙස පරාජයට පත් වුනා.

එම වසර තුළ ඔහුගේ පිතිකරණය ද ඉතා පසුබෑමකට ලක්ව තිබූ අතර ඔහු එම වසරේ පැවති ඉන්දීය තරගාවලියට පෙර උරහිසේ ආබාධයට ලක් වුනා. එමෙන්ම එම වසරේම පැවති දකුණු අප්‍රිකා තරගාවලියට පෙර ඔහුට කොරෝනා වයිරසය ද ආසාදනය වුනා.

උරහිසේ ආබාධය පූර්ණ වශයෙන් සුව වීමට පෙර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලෝක කුසලානයට සහභාගී වූ අතර එහි දී තරග 8ක කඩුලු රකින ආරම්භක පිතිකරුවා ලෙස කුසල් කටයුතු කළත් තරගාවලිය පුරාවටම ඔහු ඉතා අසාර්ථක වුනා.

එම තරගාවලියෙන් පසුව පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ද කුසල් පෙරේරා සහභාගී වූ අතර ඔහු ලෝක කුසලානය සහ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමේ දී විශාල වශයෙන් වේදනා නාශක ලබා ගනිමින් ක්‍රීඩා කර තිබුණා.

එම නිසාවෙන් ඔහුට උරහිසේ ශල්‍ය කර්මයක් සිදු කිරීමට යෝජනා කළ නමුත් මෙම (2022) වසරේ පෙබරවාරි මාසයේ දී ඔහුට එම ශල්‍ය කර්මය සඳහා වැය වන මුදල ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ බවට පුවතක් ප්‍රචාරය වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුව එම සිදු වීම පිළිබඳව සිය පැහැදිලි කිරීම් සහිත නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද කටයුතු කළා.

“කුසල් ජනිත් පෙරේරා 2022 ආසියානු කුසලානය සහ ලෝක කුසලානයට සූදානම් කරවීමේ අරමුණින් ඔහු සඳහා සති දොළහක පුනරුත්තාපන (ආබාධ සුව වීමේ) කාලයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කරන ලදි.

එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කුසල් ජනිත් පෙරේරාට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන එම පුනරුත්තාපන වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව තුළ කිසිදු ක්‍රිකට් තරගාවලියකට සහභාගී නොවන ලෙසයි.

කෙසේ නමුත් එම ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස්වලට අවනත නොවී 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගීව තිබූ අතර එය ඔහුගේ පුනරුත්තාපන කාලයට ද බලපා තිබුණා.

එම තරගාවලියෙන් පසුව නැවතත් ලෝක කුසලානය සහ ආසියානු කුසලානය ඉලක්ක කර ගනිමින් ඔහු පුනරුත්තාපන වැඩසටහනට යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබූ අතර එම නිසාවෙන් ඔහුව මෑතක දී පැවැත්වූ තරග සංචාර සඳහා ද සලකා බැලුණේ නැත.

නමුත් ඔහු එම පුනරුත්තාපන වැඩසටහනට නිවැරදි ලෙස සහභාගි නොවූ අතර ඔහු අවසන් වරට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට පැමිණ තිබුණේ 2022 වසරේ අප්‍රේල් 29 වැනි දිනයි.

එබැවින් එම ක්‍රියාවලියට ඔහුගේ උනන්දුව සහ කැපවීම අවම නිසාවෙන් එය සිදු කිරීම පිළිබඳව නැවත සිතා බැලිය යුතුයි. එය ක්‍රීඩකයාගේ අන්තයෙන් ප්‍රමාද වන විට ලෝක කුසලානයට සහ ආසියානු කුසලානයට ක්‍රීඩකයන් සූදානම් කිරීමේ ක්‍රියාවලියට ඔහු නොගැළපෙන බව පෙනී යයි.

කෙසේ නමුත් තත්වය එලෙස තිබිය දී පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ ක්‍රීඩකයාට දැනුම් දුන්නේ ඔහුගේ ශල්‍යකර්මය සඳහා වැය වෙන මුදලින් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන බව.”  එම නිවේදනයේ සඳහන් වුනා.

එම නිවේදනයට අනුව කුසල් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිපැදීමකින් තොරව වේදනා නාශක ලබා ගනිමින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම නිසාවෙන් ඔහුගේ සුව වීමේ වැඩසටහනට බාධා වී තිබුණා.

ඒ සිදුවීමෙන් පසුව ද ඔහුට ක්‍රිකට් පිටියෙන් ඉවත් කර තබමින්  සුව වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති අතර ක්‍රීඩකයා සහ ඔවුන් අතර සිදු වූ මතභේදාත්මක සිදු වීමෙන් පසුව ද සැත්කමේ වැඩි බරපැනක් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබෙනවා.

මෙම සිදුවීමෙන් රැසෙන් පසුව ඔහුගේ සැත්කම ඊයේ (01) දිනයේ දී සාර්ථකව අවසන් වූ නමුත් ඔහු සම්පූර්ණ වශයෙන් සුව වීමේ දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි නිසාවෙන් ඔහුට බොහෝ විට මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වනු ඇත.

නමුත් ලබන වසරේ එක්දින ලෝක කුසලානය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති නිසාවෙන් කුසල් පෙරේරා සුව වී සිය සුපුරුදු රිද්මයට ළඟා වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල වාසියකි.

කුසල් ජනිත් පෙරේරා හට ඉක්මන් සුවය ලැබී හැකි ඉක්මනින් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙහි දස්කම් දැක්වීමට හැකි වේවායි ThePapare.com ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<