ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා සිට 31 වැනිදා දක්වා Rawalpindi සහ Lahore හි දී ක්රියාත්මක වීමට නියමිතයි.
මෙම තරගාවලියේ දී ශ්රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස් ද, එංගලන්ත කණ්ඩායම Harry Brook ද සහ පාකිස්තාන කණ්ඩායම Shaheen Shah Afridi ද නායකයන් ලෙසින් නම් කර තිබේ.
තරගාවලියට එක් වෙන මෙම කණ්ඩායම් ත්රිත්වය මේ වෙද්දී එක්දින ජාත්යන්තර තරග පිටියේ ශ්රේණිගත ව සිටිනේ පාකිස්තානය 5 වැනි ස්ථානයේත්, එංගලන්තය 6 වැනි ස්ථානයේත් සහ ශ්රී ලංකාව 7 වැනි ස්ථානයේත් ලෙසයි.
>>ශ්රී ලංකාව සැනසිලිදායක ජයක් සමඟින් තරගාවලිය අවසන් කරයි<<
පාකිස්තාන කණ්ඩායම
26 හැවිරිදි වියේ පසුවෙන Shaheen Shah Afridi ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සහභාගී වෙන්නේ නිමා වූ ජුනි මාසයේ දී ඕස්ට්රේලියාව සමඟින් වූ තරගාවලියකට එක් වීමෙන් පසුවයි. ඔවුන් එම තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්රහණය කරනවා.
අවසන් වරට ශ්රී ලංකාවත්, පාකිස්තානයත් එක්දින තරගාවලියක දී හමු වී ඇත්තේ ශ්රී ලංකා කණ්ඩායම මීට පෙර 2025 වසරේ නොවැම්බරයේ කළ පාකිස්තාන තරග සංචාරයේදීයි. තරග 3කින් යුත් එම තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්රහණය කිරීමට සත්කාරක ක්රීඩකයෝ සමත් වෙනවා.
| ශ්රී ලංකාවට සහ එංගලන්තයට එරෙහි පාකිස්තාන කණ්ඩායමේ තරග ගමන් මඟ | ||||||
| Team | Span | Mat | Won | Lost | Draw | Tied |
| එංගලන්තය | 1974 – 2023 | 92 | 32 | 57 | 0 | 0 |
| ශ්රී ලංකාව | 1975 – 2025 | 96 | 59 | 0 | 1 | 0 |
කණ්ඩායමේ සිටින වඩාත් දක්ෂතම පිතිකරු බවට අවිවාදයෙන් ම පිළිගැනෙන්නේ Babar Azam. පාකිස්තානය වෙනුවෙන් වැඩිම ශතකලාභී පිතිකරුවා ද වන ඔහු මේ දක්වා එක්දින ජාත්යන්තර තරග 143කට ක්රීඩා කරමින් ශතක 20ක් සහ අර්ධ ශතක 38ක් සමඟින් ලකුණු 6626ක් ලබා ගනිමිනුයි මෙම තරගාවලිය හා එක්වෙන්නේ.
එම ලකුණු අතර ශ්රී ලංකාවට එරෙහි ව තරග 15ක දී ශතක 4ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු 700ක් ද වෙනවා. Babar Azam එංගලන්තයට එරෙහි ව ද තරග 20කට එක් වී ඇති අතර එහි දී ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 854ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
ඔවුන්ට අමතර ව එක්දින ජාත්යන්තර තරග 92ක දී ශතක 11ක් සහ අර්ධ ශතක 19ක් සමඟින් ලකුණු 3861ක් ලබා සිටින ආරම්භක වමත් පිතිකරු Fakhar Zaman සහ එක්දින තරග 53ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1566ක් සහ කඩුලු 20ක් ලබා සිටින තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Salman Agha ද පාකිස්තානයේ පිතිකරු ලැයිස්තුවේ ප්රබලයන් ලෙසින් හැඳින්වෙනවා.
කණ්ඩායමේ සිටින ප්රධානතම පන්දු යවන්නා වන්නේ නායක Shaheen Shah Afridi. ඔහු එක්දින ජාත්යන්තර තරග 77කට සහභාගී වෙමින් මේ දක්වා කඩුලු 146ක් ලබා සිටිනවා. ඔහුගේ මේ කඩුලු ගිණුමේ එංගලන්තයට එරෙහි ව කඩුලු 9ක් ද සහ ශ්රී ලංකාවට එරෙහි ව කඩුලු 4ක් ද තැන්පත් ව තිබෙනවා.
ඔහුට අමතර ව එක්දින තරග 59ක දී කඩුලු 107ක් ලබා ගෙන සිටින දකුණතින් මඳ වේග පන්දු යවන Haris Rauf, එක්දින තරග 73ක දී කඩුලු 87ක් ලබා සිටින පා දඟ පන්දු යවන Shadab Khan සහ එක්දින තරග 34ක දී කඩුලු 60ක් දවාගෙන සිටින තවත් දකුණත් මඳ වේග පන්දු යවන්නෙක් වන Naseem Shah ද පාකිස්තාන සතු තවත් ප්රබල පන්දු යවන්නන් ලෙසින් හැඳින්විය හැකියි.
මොවුන් අතරට තවමත් එක්දින ජාත්යන්තර වරම් හිමි නොවූ ටෙස්ට් ක්රිකට් ක්රීඩක Razaullah සහ 19 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Saad Baig ද මෙම සංචිතයට ඇතුලත්.
පාකිස්තාන එක්දින සංචිතය
Shaheen Shah Afridi (නායක), Abrar Ahmed, Salman Ali Agha, Arafat Minhas, Babar Azam, Faheem Ashraf, Fakhar Zaman, Muhammad Ghazi Ghori (කඩුලු රකින්නා), Haris Rauf, Hasan Nawaz, Naseem Shah, Razaullah, Saad Baig (කඩුලු රකින්නා), Saim Ayub, Shadab Khan, Sufiyan Moqim.
- පාකිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතය නම් කරයි
- Hong Kong යන ශ්රී ලංකා Sixes කණ්ඩායමත් සූදානම්
- කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්
- ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක් ගමන් මග පිළිබඳ නිවේදනයක්
එංගලන්ත කණ්ඩායම
එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියට පෙර එක් වූ අවසන් තරගාවලිය වූයේ ශ්රී ලංකාව සමඟින් එරට දී පැවැති තරගාවලියයි. එම තරගාවලියේ දී ඔවුන් තරග 2-1ක් ලෙසින් ජයග්රහණය කිරීමට සමත් වෙනවා.
එමෙන් ම එංගලන්ත කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයේ යෙදෙන්නේ වසර 21කට පසුව වීම විශේෂත්වයක්. ඔවුන් අවසන් වරට පාකිස්තාන තරග සංචාරයක යෙදී ඇත්තේ 2005 වසරේදීයි. තරග 5කින් යුත් එම තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජයග්රහණය කිරීමට සත්කාරක පාකිස්තානුවෝ සමත් වෙනවා.
කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමක් සහ පාකිස්තාන කණ්ඩායමක් අවසන් වරට එකිනෙකා හමුව ඇත්තේ 2023 වසරේ ඉන්දියාවේ දී පැවැති ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදීයි. එම තරගයේ දී එංගලන්තයට ලකුණු 93ක ජයග්රහණයක් ලැබෙනවා.
| ශ්රී ලංකාවට සහ පාකිස්තානයට එරෙහි එංගලන්ත කණ්ඩායමේ තරග ගමන් මඟ | ||||||
| Team | Span | Match | Won | Lost | Draw | Tied |
| ශ්රී ලංකාව | 1982 – 2026 | 85 | 42 | 39 | 0 | 1 |
| පාකිස්තානය | 1974 – 2023 | 92 | 57 | 32 | 0 | 0 |
තරගාවලියට එක් වෙන එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 27 වැනි වියේ පසුවෙන මැද පෙළ දකුණත් පිතිකරු Harry Brook වෙතයි. ඔහු මේ වන විට එක්දින ජාත්යන්තර තරග 44කට මුහුණ දෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 1530ක් තම ගිණුමේ තැන්පත් කරගෙන සිටින ක්රීඩකයෙක්.
ඒ අතර ශ්රී ලංකාවට එරෙහි ව තරග 6ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් එක්කර ගත් ලකුණු 329ක් ද තිබෙනවා. ඔහුගේ ජාත්යන්තර ඉනිම් අතර වාර්තා වී ඇති ඉහළ ම ලකුණු සංඛ්යාව වෙන්නේ කොළඹ ආර්. ප්රේමදාස ජාත්යන්තර ක්රිකට් පිටියේ දී මේ වසර ආරම්භයේ දී පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 9ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 136යි.
ඔහු මෙතෙක් පාකිස්තානයට එරෙහි ව ක්රීඩා කර ඇත්තේ එක් තරගයක දී පමණයි.
ඔහුත් සමඟින් කණ්ඩායමට එක් වූ ක්රීඩකයන් අතුරින් වඩාත් විශ්වසනීය තුන් ඉරියව් ක්රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ 35 වැනි වියේ පසුවෙන Joe Root. ඔහු මේ දක්වා එක්දින ජාත්යන්තර තරග 195කට ක්රීඩා කරමින් ශතක 20ක් සහ අර්ධ ශතක 48ක් සමඟින් ලකුණු 7903කින් තම පිතිකරු ගිණුම තරකරගෙන සිටි ක්රීඩකයෙක්. ඔහුගේ මෙම දක්ෂතාව එංගලන්ත පිතිකරු දක්ෂතා අතර ලියැවී ඇත්තේ එක්දින ජාත්යන්තර පිටියේ වැඩිම ලකුණුලාභියා ලෙසයි.
ශ්රී ලංකාවට එරෙහි ව තරග 35ක ඉනිම් 32ක දී පිතිකරුවෙක් ලෙසින් පිවිස ඇති ඔහු ශතක 3ක් සහ අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 1502ක් රැස් කරගෙන තිබෙනවා. එය ඔහු ප්රතිවාදී රටකට එරෙහි ව ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්යාවයි. එහි සාමාන්ය 62.58ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් ව සිටිනවා.
එමෙන් ම අත්යවශ්ය ම අවස්ථාවල දී පන්දු යවන්නෙක් ලෙසින් ද කටුයුතු කරන ඔහු මේ දක්වා කඩුලු 31ක් ලබා ගනිමින් පන්දු යවන්නෙක් ලෙසින් ද විශ්වාසය දිනා තිබෙනවා.
එංගලන්ත කණ්ඩායමේ සිටින මායාකාරී පන්දු යවන්නා ලෙසින් විශ්වාසය දිනා සිටින්නේ පා දඟ පන්දු යවන Adil Rashid. ඔහු මේ දක්වා එක්දින ජාත්යන්තර තරග 164ක දී කඩුලු 243ක් ලබා සිටිනවා. මේ අතර ශ්රී ලංකාවට එරෙහි ව ලබා ගත් කඩුලු 22ක් ද සහ පාකිස්තානයට එරෙහි ව ලබා ගත් කඩුලු 18ක් ද ඔහු සතුයි.
එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන් අතරට Will Jacks ද එක් වෙන අතර Ben Duckett පිතිකරුවෙක් ලෙසින් ද Sam Curran පන්දු යවන්නෙක් ලෙසින් ද විශ්වසනීයත්වය දිනා සිටිමින් කණ්ඩායම හා එක් ව සිටිනවා.
ඔහුන් සමඟින් මෙම කණ්ඩායමට 22 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්රීඩක James Coles සහ 25 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Henry Crocombe කෝඩුකාරයන් ලෙසින් එක් කර තිබෙන අතර තවමත් එක්දින වරම් අහිමි ටෙස්ට් ක්රීඩක Mason Crane මෙම සංචිතයට ඇතුලත්.
එංගලන්ත එක්දින සංචිතය
Harry Brook (නායක), Gus Atkinson, Sonny Baker, Tom Banton (කඩුලු රකින්නා), James Coles, Jordan Cox (කඩුලු රකින්නා), Mason Crane, Henry Crocombe, Sam Curran, Liam Dawson, Ben Duckett, Will Jacks, Jamie Overton, Adil Rashid, Joe Root, Josh Tongue.
මෙම කණ්ඩායම් ද්විත්වය සමඟින් තරගාවලියට එක් වෙන ශ්රී ලංකා එක්දින සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), ලහිරු උදාර, අවිශ්ක ප්රනාන්දු, පවන් රත්නායක, කමිල් මිෂාර (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ, දුශ්මන්ත චමීර, අසිත ප්රනාන්දු, ඩිල්ශාන් මදුශංක සහ එශාන් මාලිංග.
තරග කාලසටහන
ඔක්තෝබර් 18
- පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර දිවා/රාත්රී තරගය Rawalpindi ක්රිකට් ක්රීඩාංගණයේ දී.
ඔක්තෝබර් 20
- පාකිස්තානය සහ එංගලන්තය අතර දිවා/රාත්රී තරගය Rawalpindi ක්රිකට් ක්රීඩාංගණයේ දී.
ඔක්තෝබර් 22
- එංගලන්තය සහ ශ්රී ලංකාව අතර දිවා/රාත්රී තරගය Rawalpindi ක්රිකට් ක්රීඩාංගණයේ දී.
ඔක්තෝබර් 25
- පාකිස්තානය සහ එංගලන්තය අතර දිවා/රාත්රී තරගය Lahore හී Gaddafi ක්රීඩාංගණයේ දී.
ඔක්තෝබර් 27
- පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර දිවා/රාත්රී තරගය Lahore හී Gaddafi ක්රීඩාංගණයේ දී.
ඔක්තෝබර් 29
- එංගලන්තය සහ ශ්රී ලංකාව අතර දිවා/රාත්රී තරගය Lahore හී Gaddafi ක්රීඩාංගණයේ දී.
ඔක්තෝබර් 31
- අවසන් මහා තරගය (දිවා/රාත්රී) Lahore හී Gaddafi ක්රීඩාංගණයේ දී.
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















