සුමේධ සම්පත්ගෙන් තුන් ඉරියව් දක්ෂතා

2nd Battle of the Brothers

260
2nd Battle of the Brothers

අම්බලන්ගොඩ, මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සහ ශ්‍රීපති විද්‍යාලය අතර දෙවැනි වරටත් පැවති සහෝදරයන්ගේ සංග්‍රාමය වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (09) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

දෙවිදුහල් අතර පෙර වසරේ දී පැවති මංගල මහා ක්‍රිකට් තරගය ද නිමා වූයේ ජය පරාජයකින් තොරවයි.

මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම: සිතුම් කල්හාර (නායක), දහම් මෙන්ඩිස්, සුමේධ සම්පත්, උමේෂ් ද සිල්වා, කේශාන් දිල්හාර (කඩුලු රකින්නා) විනෝද් සොයිසා, චමෝද් ද සිල්වා, හිමාෂ් ප්‍රියශාන්ත, සහස් අනුපම, නඳුන් ද සොයිසා, ඉෂාන් කුමාර.

ශ්‍රීපති විද්‍යාලයීය කණ්ඩායම: පසිඳු ඩිල්ශාන් (නායක), උදිත සත්සර (කඩුලු රකින්නා) සිතුම් අංජන, සචින්ත කෞශල්‍ය, දිනුජ දෙනුවන්, හරිත් නෙත්සර, ජනිඳු අනුහස්, හිරුන් සඳනෙත්, පන්සිළු පබසර, සුපුන් සත්සර, කළණ දසුන්.

අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රීපති විද්‍යාලයීය නායක පසිඳු ඩිල්ශාන් පළමුවෙන් පන්දුවට පහර දීමට මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය නායක සිතුම් කල්හාරට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි මාදම්පා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 247ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් සුමේධ සම්පත් පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තා.

ලකුණු 6කට කඩුලු 2ක් දැවී තිබිය දී සුමේධ ආරම්භ කළ ඉනිම 7 වැනි කඩුල්ල දක්වා ම ක්‍රියාත්මක කිරීම කැපී පෙනුණා. ඔහු තෙවැනි කඩුල්ල වෙනුවෙන් උමේෂ් ද සිල්වා හා සමඟ එක් වෙමින් පන්දු 164ක දී ලකුණු 113ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.

උමේෂ් ද සිල්වා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 61ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් එල්ල කළා.

සුමේධ 5 වැනි කඩුල්ල වෙනුවෙන් විනෝද් සොයිසා (19) සමඟින් එක් වෙමින් පන්දු 59ක දී ලකුණු 72ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා.

කඩුලු ලබා ගැනීමේ දී කළණ දසුන් සහ ජනිඳු අනුහස් කඩුලු 4 බැගින් බෙදා ගත්තා.

මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම
මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම

පිළිතුරු පළමු ඉනිමට පිටියට පිවිසි ශ්‍රීපති ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 31ක් පමණයි.

පෙර ඉනිමේ දී ශතකයක් වාර්තා කරමින් ශ්‍රීපතියේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සුමේධ සම්පත්, එවර පන්දු යැවීමෙන් ද ක්‍රියාත්මක වෙමින් ශ්‍රීපති ඉනිමේ කඩුලු 8ක් ම දවා ගත්තා. දකුණතින් මඳ වේග පන්දු යැවූ ඔහු ඒ වෙනුවෙන් ප්‍රතිවාදන්ට ලබා දුන්නේ ලකුණු 10ක් පමණයි.

එම ප්‍රතිඵලයත් සමඟින් ලකුණු 216ක් ඉදිරියෙන් සිටි මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයට පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දිය හැකිව තිබුනත්, මාදම්පා විද්‍යාලයීය ක්‍රීඩකයෝ එම වාසිය ද සමඟින් නැවත වතාවක් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා.

ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 203ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් විනෝද් සොයිසා පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තා.

ඊට අමතර ව උමේෂ් ද සිල්වා පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ද සහ ආරම්භක පිතිකරු දහම් මෙන්ඩිස් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ හිරුන් සඳනෙත් ලකුණු 67කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතර ව කළණ දසුන් කඩුලු 2ක් දවා ගත්තා.

ශ්‍රීපති විද්‍යාලයීය කණ්ඩායම

ශ්‍රීපති ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම ආරම්භ කළේ ලකුණු 419ක් පිටුපස සිටිමින්. පළමු ඉනිමේ දී අසාර්ථක වූ ද, ඔවුන් එවර වඩාත් සංයමකින් යුතුව පන්දුවට පහර දෙමින් තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමට සමත් වුනා. තරගය නතර වෙද්දී ඔවුන් තම දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබා සිටියා.

එම ඉනිමේ දී  දිනුජ දෙනුවන් සහ හිරුන් සඳනෙත් 6 වැනි කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් එක් කරමින් කණ්ඩායමට ලැබීමට තිබූ නියත පරාජයක් වලක්වා ගැනීමට කටයුතු කිරීම කැපී පෙනුණා.

දිනුජ දෙනුවන් පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබා ගනිද්දී හිරුන් සඳනෙත් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දහම් මෙන්ඩිස්, උමේෂ ද සිල්වා සහ සුමේධ සම්පත් කඩුලු 2 බැගින් බෙදා ගත්තා.

  • මාදම්පා මධ්‍යමහාවිද්‍යාලය – පළමුඉනිමසියලුමදෙනාදැවී247 (55.4) සුමේධ සම්පත් 116, උමේෂ් ද සිල්වා 61, විනෝද් සොයිසා 19, කළණ දසුන් 4/22, ජනිඳු අනුහස් 4/87
  • ශ්‍රීපති මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 31 (15.5) සචිඳු කෞෂල්‍ය 4, සුමේධ සම්පත් 8/10
  • මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 203 (47.4) දහම් මෙන්ඩිස් 31, සිතුම් කල්හාර 21, උමේෂ් ද සිල්වා 32, විනෝද් සොයිසා 78, කළණ දසුන් 2/25, හිරුන් සඳනෙත් 5/67
  • ශ්‍රීපති මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 143 (46) පසිඳු ඩිල්ශාන් 19, දිනුජ දෙනුවන් නොදැවී 59, හිරුන් සඳනෙත් 34, දහම් මෙන්ඩිස් 2/25, උමේෂ් ද සිල්වා 2/36, සුමේධ සම්පත් 2/30
  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – පසිඳු ඩිල්ශාන් (ශ්‍රීපති මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – සුමේධ සම්පත් (මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – සුමේධ සම්පත් (මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ වීරයා – සුමේධ සම්පත් (මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය)

දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර තරගය මේ මස 23 වැනිදා අම්බලන්ගොඩ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<