කුසල් පෙරේරා සහ බිනුර ප්‍රනාන්දුට ආබාධ

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

1316
Kusal Perera ruled out of ODIs and T20Is

එළඹෙන 18 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ආබාධවලට ලක්ව තිබෙනවා.

ඒ නිසාවෙන් එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකා නායකත්වය දැරූ කුසල් හට ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරග සියල්ල මඟ හැරී යනු ඇති අතර බිනුර ප්‍රනාන්දු හට ඉන්දියාව සමඟ පැවැත්වෙන ICC සුපර් ලීගයේ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියම මඟ හැරී යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (16) තහවුරු කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:  

කුසල් පෙරේරාගේ උරහිසේ දකුණු උරහිසේ ඇතිව තිබෙන ආබාධය උත්සන්න වීම නිසාවෙන් ඔහුට අවම ලෙස සති 6ක විවේකයක් අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා. එසේම වේගපන්දු යවන ක්‍රීඩක බිනුරගේ  වම් පාදයේ වළලුකර ආශ්‍රිතව යම් උළුක්කු වීමක් (sprained) සිදුව තිබෙන නිසාවෙන් ඔහුට මේ එක්දින තරගාවලියම මඟ හැරී යනවා. බිනුර ආබාධයට ලක්ව තිබෙන්නේ පසුගිය දා (14) පැවති පුහුණු සැසිය අතරතුරයි.

ඒ අනුව කුසල් පෙරේරා නොමැති වීම නිසාවෙන් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ යම් තරමකින් හෝ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ලෙස පසුවන්නේ ධනංජය ද සිල්වා හා දසුන් ශානක පමණයි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් මෙන්ම ලහිරු තිරිමාන්න සීමිත පන්දුවාර තරග සඳහා සලකා නොබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇති බැවින් මෙම තරගාවලිය සඳහා වන සංචිතයට ද ඔවුන් ඇතුළත් වන්නේ නැහැ. 

ඇන්ජලෝ මැතිව්ස් හට මේ තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ආරාධනා කර තිබුණ ද, ඔහු පුද්ගලික හේතුවක් නිසාවෙන් නැවත දැනුම් දෙන තුරු ඔහුව තේරීම් කටයුතු සඳහා සලකා නොබලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබෙනවා.

එමෙන්ම ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් මේ වන විට තාවකාලික ක්‍රිකට් තහනමකට ලක්ව සිටින බැවින් ඉන්දියාවට එරෙහි තරගාවලිය ද ඔවුන්ට අහිමි වනවා.

කුසල් පෙරේරා හට මේ තරගාවලිය අහිමිව යන නිසාවෙන් දඹුල්ල ප්‍රදේශයේ  ස්ථාපිත කර තිබෙන ජෛව ආරක්ෂිත බුබුල තුල පුහුණුවීම් සිදු කරමින් සිටි මිනෝද් භානුක සහ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා සංචිතයට එකතු වීමේ අරමුණ ඇතිව කොළඹට පැමිණ තිබෙනවා. තවද COVID-19 වයිරසය ආසාදනය වුනු සඳුන් වීරක්කොඩිගේ ආශ්‍රිතයෙකු වුනු භානුක රාජපක්ෂ හට පසුගිය දින තුනේ දී PCR පරීක්ෂණ දෙකක් සිදු කර තිබෙන අතර එම PCR වාර්තා දෙකම සාමාන්‍ය වීම නිසා ඔහු අද (16) ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිය පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටින බව ද දැනගන්නට ලැබෙනවා.

ඉන්දියාව සමඟ එළඹෙන 18 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති අතර, අවිශ්ක ප්‍රනාන්දු සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන පිතිකරුවා කවුරුන්ද යන බව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් තවමත් අවසන් තීරණයකට එළඹ නැහැ.

ශ්‍රී ලංකා – ඉන්දීය නව තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 18
  • දෙවැනි එක්දින තරගය – ජූලි 20
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 23
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 25
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 27
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 29

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 3.00 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 8 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<