මධ්‍යම ආසියානු ශූරතාවට ඉවකරන අපේ වොලිබෝල් ක්‍රීඩකයෝ

Central Asian Challenge Cup (Men) 2023 Volleyball Tournament

742

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සත්කාරකත්වයෙන් සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණයෙන් යුතුව පැවැත්වෙන 2023 මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන (පිරිමි) වොලිබෝල් තරගාවලිය මේ මස 09 වැනිදා සිට 15 වැනිදා දක්වා මෙරට දී පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශය, උස්බෙකිස්තානය, නේපාලය,  ඇෆ්ගනිස්තානය, කසකස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල් 6 කණ්ඩායම් සහභාගී වීමට නියමිත අතර තරගාවලියේ සියලු තරග කොළඹ සුගතදාස ගෘහස්ථා ක්‍රීඩාගාරයේ දී පැවැත්විමට නියමිතයි.  

තරග කාලසටහන 
  දිනය  කණ්ඩායම 1  කණ්ඩායම 2  වේලාව 
1   

ඔක්තෝබර් 09 

ඇෆ්ගනිස්තානය  උස්බෙකිස්තානය  පෙරවරු 10.30 
2  ශ්‍රී ලංකාව  කසකස්තානය  සවස 4.00 
3  බංග්ලාදේශය  නේපාලය  සවස 6.30 
4   

ඔක්තෝබර් 10 

කසකස්තානය  උස්බෙකිස්තානය  පස්වරු 1.30 
5  ශ්‍රී ලංකාව   නේපාලය  සවස 4.00 
6  බංග්ලාදේශය  ඇෆ්ගනිස්තානය  සවස 6.30 
7   

ඔක්තෝබර් 11 

නේපාලය  ඇෆ්ගනිස්තානය  පස්වරු 1.30 
8  කසකස්තානය  බංග්ලාදේශය  සවස 4.00 
9  ශ්‍රී ලංකාව   උස්බෙකිස්තානය  සවස 6.30 
  ඔක්තෝබර් 12  විවේක දිනය 
10   

ඔක්තෝබර් 13 

කසකස්තානය   නේපාලය  පස්වරු 1.30 
11  ශ්‍රී ලංකාව   ඇෆ්ගනිස්තානය  සවස 4.00 
12  උස්බෙකිස්තානය  බංග්ලාදේශය  සවස 6.30 
13  ඔක්තෝබර් 14  ඇෆ්ගනිස්තානය   කසකස්තානය  පස්වරු 1.30 
14    ශ්‍රී ලංකාව   බංග්ලාදේශය  සවස 4.00 
15    උස්බෙකිස්තානය  නේපාලය  සවස 6.30 
අවසන් වටයේ තරග  
16   

ඔක්තෝබර් 15 

තෙවැනි ස්ථානය තෝරා ගැනීමේ තරගය  පස්වරු 1.30 
17  අවසන් මහා තරගය  සවස 4.00 

 

“හොඳ පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් සමන්විත අපේ කණ්ඩායමට මෙවර ද මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පුළුවන් කියන විශ්වාසයෙන් අපි ඉන්නවා. ගියවර දිනූ රන් පදක්කම මෙවර ද රැක ගැනීම අපේ එක ම අරමුණයි. අපි හොඳ සූදානමකිනුයි මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ,” තරගාවලියට එක් වන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්න ජයසේකර මහතා ThePapare.com සමඟ පැවසුවා.  

තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම; 

  • දීප්ති රොමේෂ් (නායක උසපන්දු ප්‍රහාරක විදුලිබල මණ්ඩලය)  
  • ලසිඳු මෙත්මාල් (උපනායක උසපන්දු ප්‍රහාරක වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය) 
  • මලීෂ රවිශාන් (පන්දු සකසන්නා – ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය) 
  • ෂෙහාන් විමුක්ති (පන්දු ගොඩගන්නා – ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය) 
  • මහේල ඉන්දීවර (උසපන්දු ප්‍රහාරක ගුවන් හමුදා ක්‍රීඩා සමාජය) 
  • තරිඳු ලක්මාල් (උසපන්දු ප්‍රහාරක ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය) 
  • සනුක මධුභාෂන (කෙටිපන්දු ප්‍රහාරක ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය) 
  • වසන්ත ලක්මාල් (කෙටිපන්දු ප්‍රහාරක යුද හමුදා ක්‍රීඩා සමාජය) 
  • අයේෂ් පෙරේරා (කෙටිපන්දු ප්‍රහාරක – විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය) 
  • තරුෂ චමත් (උසපන්දු ප්‍රහාරක – විදෙස්ගත ක්‍රීඩක) 
  • ඒ. ශ්‍රී පරත් (කෙටිපන්දු ප්‍රහාරක – ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය) 
  • ෂෙහාන් ලක්ෂිත (උසපන්දු ප්‍රහාරක – විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය) 
  • රුචිර සම්පත් (පන්දු සකසන්නා – විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය) 
  • මනෝජ් සුරංග (පන්දු ගොඩගන්නා යුද හමුදා ක්‍රීඩා සමාජය 

නිලධාරීන්; ටී. ඩී. එස් ද සිල්වා මහතා (කළමණාකරු), චන්න ජයසේකර මහතා (ප්‍රධාන පුහුණුකරු), නිශාන් ඉන්දික මහතා (සහාය පුහුණුකරු) සහ සුසිරි මංගල මහතා (අභ්‍යාසක) 

මෙවර මෙම තරගාවලිය සඳහා මේ වසරේ ජුනි මාසයේ දී චීන තායිපේ රාජ්‍යයේ දී පැවති ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 12 දෙනෙක් ම නියෝජනය කිරීම විශේෂත්වයක්.

ඊට අමතරව නුවරඑළිය ප්‍රදේශයෙන් වොලිබෝල් ක්‍රීඩාවට පිවිසි ඒ. ශ්‍රී පරත් පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙනවා. ඔහු පසුගිය කාලයේ  ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය හා එක්වෙමින් තම දක්ෂතා මුදා හැරි ක්‍රීඩකයෙක්. එමෙන් ම විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය නියෝජනය කරන රුචිර සම්පත් වසරකට පමණ පසු මෙම කණ්ඩායම හා එක් වීම ද විශේෂත්වයක් 

මෙම කණ්ඩායමට දීප්ති, ලසිඳු, අයේෂ් වගේ අවුරුදු 10කට වැඩි කාලයක සිට කණ්ඩායමේ සිටින වඩාත් පළපුරුදු ක්‍රීඩකයන් සමඟ හොඳ තරුණ ජවයකින් සහිත ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද සහ මහේල වගේ විදෙස් කණ්ඩායම්වල ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයන් ද ඇතුළත්. ඔවුන් වඩාත් හොඳ දෙයක් කණ්ඩායම වෙනුවෙන් කරාවි, චන්න ජයසේකර මහතා නැවත ප්‍රකාශ කළා. 

මෙවර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ දෙවැනි වරටයි. මීට පෙර 2021 වසරේ දී බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවති මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව තරග වට 3-0ක් ලෙසින් සත්කාරක බංග්ලාදේශය පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. අවසන් මහා තරගයේ ලකුණු පුවරුව දැක්වුණේ 28-26ක්, 25-20ක් සහ 25-20ක් ලෙසයි. 

එවර තරගාවලිය සඳහා කිරිගිස්තානය, උස්බෙකිස්තානය, මාලදිවයින, නේපාලය, ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය සහභාගී වු අතර  එහි දී තරගාවලියේ දක්ෂතම පිටිය සකසන්නා ලෙසින් දනුශ්ක ඩිල්ශාන් ද දක්ෂතම ප්‍රහාරකයා ලෙස මහේල ඉන්දීවර බණ්ඩාර ද සම්මාන දිනා ගත්තා. 

විදෙස් කණ්ඩායම් සහභාගී වෙන මෙවැනි තරගාවලියක් මෙරට දී සංවිධානය වන්නේ වසර 4කට පසුව වීම විශේෂත්වයක්.  

“2019 මෙරට දී පැවති ආසියානු අභියෝගතා කුසලාන තරගාවලියෙන් පසුවයි මෙවැනි තරගාවලියක් මෙරට දී පැවැත්වෙන්නේ. ඒ ගැන කාටවත් දොස් කියන්න බැහැ. පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගතය වගේ ම රටේ පැවැති අයහපත් ආර්ථික වාතාවරණය ද ඊට සෘජුව සහ වක්‍රාකාරව බලපෑවා.

ඒ තත්ත්වය යම් තරමකට හෝ මඟ හරිමින් මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් වොලිබෝල් සම්මේලනයට ස්තූති වන්ත වෙනවා වගේ ම මෙම තරගාවලිය වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රගමනයට වඩාත් වැදගත් වේවි කියලත් හිතෙනවා,” වොලිබෝල් ජාතික පුහුණුකරු චන්න ජයසේකර මහතා නැවත පැවසුවා.  

එමෙන් ම මෙවැනි තරගාවලියකට සහභාගී වීමේ දී, වැඩි වැඩියෙන් ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියන් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහභාගී වීමට නොලැබීම විශාල පාඩුවක් බවයි ඔහුගේ මතය. 

“නිමා වූ ආසියානු ශූරතාවලියට වගේ ම ආසියානු ක්‍රීඩා උළෙලට ද අපේ කණ්ඩායම් සහභාගී වූයේ නැහැ. ඊට පෙර පැවති තවත් තරගාවලි කිහිපයක් ද අපේ ක්‍රීඩකයන්ට මඟ හැරුණා. ඒක විශාල පාඩුවක්. අපි අත්දැකිම් ලබා ගන්න ඕන විදෙස් කණ්ඩායම් මගින්. නමුත් එහෙම තරග ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ නැහැ. කලාතුරකින් ලැබෙන එක් තරගයකින් දෙකකින් මහා ප්‍රාතිහාර්යයක් පාන්න බැහැ. නමුත් මේ වගේ තත්ත්වයක දීත් අපේ ක්‍රීඩකයන් දක්ෂතා ගැන අපි සෑහීමකට පත් වෙනවා.” 

එමෙන් ම විදෙස් තරග වැඩි වැඩියෙන් ලැබෙන්නේ නම් වොලිබෝල් ක්‍රීඩාව මේ රටේ මීට වඩා තැනකට ගෙන ආ හැකි බව ද ඔහු පවසනවා.  

“අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නැතිව නොවේ, ඔවුන්ගේ දක්ෂතා මේ තරමකින් හෝ දියුණු වෙලා තියෙන්නේ පිටරටවල ක්‍රීඩා කරන අපේ ක්‍රීඩකයන් නිසා. ඔවුන් ඒ රටවල තියෙන තාක්ෂණය හා අත්දැකීම් මෙරට ක්‍රීඩකයන් හා සමඟ බෙදා ගන්නවා. ඒක අපේ ක්‍රීඩකයන්ට විශාල පිටිවහලක්. නමුත් අපිට ලැබෙන්නෙ අඩු තරග ප්‍රමාණයක් නිසා ඒක පිට ට පෙනෙන්නේ නැහැ. තරගයක් දෙකක් දිනද්දි තමයි මේ ගැන කතා වෙන්නේ. අපි ඒ තත්ත්වයයි ඇති කරන්න ඕන.“ 

විදෙස් තරග අඩු වීම හේතුවෙන් කණ්ඩායමක් දිගින් දිගට ම පුහුණුවිම් හී තබා ගැනීමට නොහැකි වීම ද ක්‍රීඩාවේ යම් ප්‍රගමනයකට බාධා එල්ල කරන බව ද ඔහු පවසනවා. 

“මම 2020 වසරේ සිට වගේ මේ තනතුරේ කටයුතු කරනවා. පසුගිය කාලයේ ඇති වූ ව්‍යසනයන් වගේ ම තරග අඩු වීමේ හේතුවත් මත මේ වසර 3ට ම මගේ පුහුණු කිරීම්  කාලය එකතු කළොත් මාස 6-7කට වැඩිය නැහැ. ඒ ගැන කාටවත් දොස් කියන්න බැහැ. අපි හැමෝට ම මේ රටේ පසුගිය කාලයේ සිදු වූ ප්‍රශ්න බලපෑවා. නමුත් ඉදිරියේ දී මේ තත්ත්වය මඟ හැරලා වැඩි තරග ප්‍රමාණයකට අපේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න ලැබෙනවා නම් අපිට විශාල බලපෑමක් කරන්න පුළුවන්.” 

මෙවැනි තරග සංවිධානය වීම මගින් වොලිබෝල් ක්‍රීඩකයන්ට වඩා වැදගත්කමක් සේ ම වොලිබෝල් ක්‍රීඩාවට මෙරට පවතින ආකර්ශනය මීට වඩා වැඩිකර ගත හැකි බව ද ඔහුගේ මතයයි. 

“විශේෂයෙන් ම තරුණ ක්‍රීඩකයන්ට මේ තරග නරඹලා අත්දැකිම් ලබා ගැනීමේ අවස්ථාව උදා වෙනවා වගේ ම නරඹන්නන්ට ද මේ තරග නැරඹීමට පැමිණීමෙන් විශාල ආශ්වාදයක් ලබා ගැනීමට හැකි වේවි. ඒ මගින් අපිට වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් ලබා ගැනීමට හැකි වේවි කියන විශ්වාසය මට තියෙනවා. මෙම තරගාවලිය මෙරට දී සංවිධානය වීමේ වැදගත්කමක් රැදී ඇත්තේ එතැන කියලයි මට හිතෙන්නේ,” ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු චන්න ජයසේකර මහතා ThePapare.com සමඟ පැවසුවා.  

මෙම තරගාවලිය සජීවී ව විකාශය කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 වෙබ් නාලිකාව වන ThePapare.com කටයුතු කර තිබෙනවා. ඊට සමගාමීව Dialog TV Channel 126 සහ Dialog ViU mobile app මඟින් ද මෙම තරග නැරඹීමේ අවස්ථාව හිමි වෙනවා.  

මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන (පිරිමි) 2023 වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනිම වෙනුවෙන් තරග වදින ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම වෙත ThePapare.com වෙතින් සුබ පැතුම්! 

තරගාවලියේ උණුසුම ඒ අකාරයෙන් ම විඳ ගැනීමට රැදී සිටින්න  ThePapare.com සමඟම.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<