චන්දිමාල්ගෙනුත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක්

3211

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක සහ හිටපු නායකයෙකු ද වන දිනේෂ් චන්දිමාල් අද (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා වෙත සෘජුව යොමු කර තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා සහ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යන මහත්වරුන්ට ද එම ලිපියේ පිටපත් යොමු කර තිබෙනවා.  

එම ලිපිය තුළින් ඔහු මූලිකවම පවසා තිබෙන්නේ සිය වෘත්තීමය ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවයි.

“මගේ වෘත්තීමය ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කිරීමට මා කැමතියි. මෙය මාගේ වෘත්තිය බැවින් මෙම අවස්ථාවේ දී මාගේ ඉදිරි අනාගතය සඳහා නිවැරදිම තීරණය ගැනීම මට ඉතාමත් වැදගත් වෙනවා” යනුවෙන් 31 හැවිරිදි චන්දිමාල් මේ ලිපිය හරහා පවසා තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්

චන්දිමාල් මෙම ලිපියෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තමන් මෙතෙක් දක්වා ඇති දක්ෂතා පිළිබඳව ද සිහිපත් කිරීමක් සිදු කර ඇති අතර, හිටපු ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙකුගේ දක්ෂතා වයස අවුරුදු 30න් පසුව වර්ධනය වී ඇති අයුරු ද ඔහු පෙන්වා දී තිබෙනවා.

මීට පෙර ඇන්ජෙලෝ මැතිව්ස් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

මේ වන විට ඔවුන් දෙදෙනා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම (දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ලහිරු තිරිමාන්න) ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත් කිරීමට වත්මන් තේරීම් කමිටුව පියවර ගෙන ඇති නිසාවෙන්, ඔවුන්ගේ වෘත්තීමය ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

චන්දිමාල් මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 62ක්, එක්දින තරග 149ක් සහ විස්සයි විස්ස තරග 57ක් ක්‍රීඩා කරමින් ලකුණු 8724ක් ලබාගෙන තිබෙන්නේ, ශතක 15ක් සහ අර්ධ ශතක 48ක් ලබා ගෙනයි. එම අංශ තුනේ ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය හොඳ මට්ටමක (ටෙස්ට් – 39.98, එක්දින – 32.43, විස්සයි විස්ස – 19.28) තිබෙනවා.

දිනේෂ් චන්දිමාල් යොමු කළ ලිපිය පහතින් දැක්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<