ක්‍රිකට් පන්දු දෝලනයේ සුල්තාන්!

4671
Getty Images

ලාහෝරයේ වීදි ඔස්සේ පාපැදිය පදවා ගෙන ගොස් මේසපන්දු ක්‍රීඩාවේ යෙදීම තරම් විනෝදාංශයක් ඔහුට කුඩා කාලයේ තිබුණේ නැත. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීම පසෙකින් තැබුවහොත් ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට හෝ ක්‍රිකට් ජීවිකාව ලෙස යොදා ගන්නට ඔහු කිසි ලෙසකින් සිතාගෙන සිටියේ නැත. නමුත් ඔහුට අවුරුදු 18ක් සපිරෙන තැන ඒ සියල්ල වෙනස් විය.

මේ ඔබ හමුවේ දිග හැරෙන්නේ 1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානය පාකිස්තානයට දිනා දෙන්නට මහඟු මෙහෙවරක් කළ ක්‍රිකට් පිටියේ වසීම් අක්‍රම් නම් ඒ අග්‍රගණ්‍ය පුරාවෘත්තයේ වගතුගයි.

“මට පොඩි කාලේ උවමනා වුනේ ඉහළ පෙළේ ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙක් වෙන්න. ලාහෝරයේ වීදි ඔස්සේ පාපැදිය පදවා ගෙන ගිහින් ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ යෙදීම මගේ ප්‍රියතම විනෝදාංශයක් වුනා.

මම උපත ලබන්නේ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයක් තිබූ පවුලක. මගේ පියා කළ ව්‍යාපාරවලින් අපට සෑහෙන ආදායමක් ලැබුණා. ඒ නිසා පාසල නිමා වී අමතර ආදායමක් උපයා ගැනීමට කාලයක් යොදවන්න මට සිද්ධ වුනේ නැහැ.

මම ක්‍රිකට් පන්දුව මුලින්ම අතට ගන්න අවස්ථාවේ මට ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ.

අවුරුදු 18 වෙද්දී මම පාකිස්තානු කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ඒ ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ කෙටි කාලයකින් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් පාකිස්තානයේ දී හෝ ඉන්දියාවේ දී පමණයි.

මට වයස අවුරුදු 10ක් වෙද්දී මගේ ආච්චි සහ සීයා සමඟ පදිංචියට යන්න මට සිදු වුනා. හේතුව ඔවුන්ගේ නිවස පිහිටා තිබුණේ මා ගිය පාසලට බොහොම කිට්ටුවෙන් පිහිටා තිබුණ නිසා.

වසීම් අක්‍රම් සිය මව සහ සහෝදර සහෝදරියන් සමග.

මගේ ක්‍රිකට් පදනම වැටෙන්නේ ආච්චි සහ සීයා සමග පදිංචියට යෑම නිසා. ඔවුන් දෙදෙනාම උග්‍ර ක්‍රිකට් ලෝලීන්. ලාහෝරයේ පටු වීදිවල ක්‍රිකට් ක්‍රීඩා කරන විට මට ටේබල් ටෙනිස් ක්‍රීඩාව ගැන තිබූ ආශාව පසෙකට විසි වී ක්‍රිකට් ගැන අසීමිත ආදරයක් ඇති වෙන්න පටන් ගත්තා.

ලාහෝරයේ වීදි ක්‍රිකට් තරග ඉතාම තියුණු ස්වරූපයක් ගත්තා. වීදි ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් ඉන්නට නම් ඔබට හැමවිටම ඔබේ දස්කම් දියුණු කරගන්න වෙනවා.

දෙමාපියන් මගේ අධ්‍යාපන කටයුතු ගැන තරමක් කනස්සල්ලෙන් හිටියේ. හේතුව මම රැයක් දවාලක් නොබලා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම.

‘යන්න, යන්න ගිහින් ක්‍රිකට් සෙල්ලම් කරන්න. හැබැයි අම්මට දැන ගන්න තියන්න එපා’

එවන් අවස්ථාවක දී මගේ පිහිටට ආවේ මගේ ආච්චි.

මගේ සීයා හැකි සෑම විටම ගුවන් විදුලිය ඔස්සේ ක්‍රිකට් තරගවලට සවන් දුන්නා. සහීර් අබ්බාස් ඔහුගේ ක්‍රිකට් වීරයෙක්. අබ්බාස්ගේ පිතිහරඹ වික්‍රම ඔහු කියන්නේ හරිම ආඩම්බරයෙන්.

මට කුඩා කාලයේ සිටම නිසි ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබුණා. පාකිස්තානු කණ්ඩායමට එක් වූ කාලයේ ඉංග්‍රීසි බස කතා කිරීමටත්, තේරුම් ගන්නට ලැබීමත් හැකියාවක් තිබීම මට විශාල භාග්‍යයක් වුනා. මට එය හොඳින්ම තේරුම් ගියේ අවුරුදු 22ක් වැනි ළාබාල වයසක දී ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබෙද්දී. වෙනත් රටවල ක්‍රීඩකයින් හා හිතමිත්‍රකම් ඇති කරගන්නත් ඔහු කතා කරන දේ හොඳින් තේරුම් ගන්නත් ඉංග්‍රීසි භාෂාව මට විශාල පිටිවහලක් වුනා.

එක අතකින් මම හරි වාසනාවන්තයි කියන්න පුළුවන්. ඉන්දියානු උපමහද්වීපයේ බොහෝ තරුණයන්ගේ ක්‍රිකට් සිහිනය උපන්ගෙයිම මිය යන්නේ තමන්ගේ හැකියාව පෙන්නන්න නිසි ආකාරයෙන් අවස්ථාවක් නොලැබෙන නිසා. නමුත් මගේ වාසනාවකට මට හරි වෙලාවේ හරි තැන ඉන්න ලැබුණා. හැකියාවෙන් සහ මහන්සියෙන් ඉතා ඉක්මනින් පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ තලයේ මිනිස්සුන්ගේ අවධානය මා වෙත යොමු කරගන්න මට පුළුවන් වුනා.

එවන් සුවිශේෂී සිදුවීමක් මට මෙවෙලේ මතකයට නැගෙනවා.

1984 වසරේ ලාහෝර් නුවර පැවැත්වුණා එක්තරා ක්‍රිකට් පුහුණු කඳවුරක්. ආධුනික ක්‍රීඩකයෙක් විදියට මම තීරණය කළා එයට සහභාගී වෙන්න. අවාසනාවකට එහි පළමු දවස් හතරේම මට එකම පන්දුවක් හෝ යවන්න අවස්ථාවක් ලැබුණේ නෑ. එයින් මා පත්වුණේ සෑහෙන වේදනාවකට.

මම නැවත මගේ ක්‍රිකට් පුහුණුකරුවා සොයා ගියා. මම ඔහුට කිව්වා මට නැවතත් ඒ පුහුණු කඳවුරට ගොස් නිකරුණේ කාලය අපතේ යැවිය නොහැකි බව.

මගේ පුහුණුකරුවා මාව දිරිමත් කළා. ඔහු පුහුණු කඳවුරේ ප්‍රධාන නිලධාරියාට කතා කොට හැකි නම් මට පන්දු යැවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

මට මගේ අවස්ථාව ලැබුණේ පස්වැනි දිනය අවසාන වන්නට ඔන්න මෙන්න තිබිය දී. ඒකත් හොඳටම පරණ වෙච්ච පන්දුවක්. මට ලැබුණු ඒ පරණ පන්දුවෙන් මම සෑහෙන හොඳින් පන්දු යැව්වා.

පුහුණු කඳවුරේ ප්‍රධාන නිලධාරියා ගේ නම සදාත් අලී. ඔහු පාකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙක්. මා පරණ පන්දුවෙන් පෑ දස්කම් ගැන ඔහු සෑහෙන පැහැදුණ බවක් පෙනෙන්නට තිබුණා.

පසුදින උදෑසනම ඔහු මට කතා කරලා අතට දුන්නේ හොඳට දිලිහෙමින් තිබූ නව පන්දුවක්. එයට ප්‍රධානම හේතුව වුනේ පුහුණු කඳවුරේ ප්‍රධානියා මා ගැන විශාල පැහැදීමකට පත්ව සිටි නිසා බව මට රහසක් වුනේ නැහැ.

1985 වසරේ පාකිස්තානු දහනමයෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග ශ්‍රී ලංකාවට පැමිණි වසීම් අක්‍රම්

මම මට හැකි උපරිම ජවය යොදා දිවවිත් උපරිම වේගයෙන් පන්දු යැව්වා. රමීස් රාජා ඇතුළු නම ගිය පිතිකරුවන් සෑහෙන ප්‍රමාණයක් දවා ගන්න එදා මට හැකි වුනා.

එවකට කරච්චි නුවර පදිංචි වෙලා හිටපු ජාවේඩ් මියැන්ඩාඩ් ලාහෝර් නුවර පදිංචියට පැමිණියේත් ඒ කාලෙයේ දී. මියැන්ඩාඩ් එවකට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා.

එක් දිනක් ඔහු පුහුණු කඳවුරට පැමිණියා. මියැන්ඩෑඩ් පුහුණු සැසියට ආ විගසම සදාත් අලී, මියැන්ඩෑඩ්ට පන්දු යැවීමට සූදානම් වන ලෙස මට උපදෙස් දුන්නා.

ඒක හීනයක් සැබෑ වීමක් වගේ. ජාවෙඩ් මියැන්ඩාඩ් කියන්නේ මගේ ලෝකයේ ක්‍රිකට් වීරයෙක්. මම හැකිතාක් වේගයෙන් ඔහුට පන්දු යැව්වා. මට හැඟුණා ඔහු ඉතාම පැහැදීමකට ලක්වී සිටින බව.

පුහුණු කඳවුරට සහභාගී වී සති තුනක් ඇතුළත මා ප්‍රථම වතාවට පළමුපෙළ තරගයකට ක්‍රීඩා කළා.

මගේ මුල්ම පළමුපෙළ තරගය පාකිස්තානු සභාපතිවරයාගේ කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වුණේ. මාර්ටින් ක්‍රෝ, ජෙෆ් ක්‍රෝ, ජෙරමි කෝනි වැනුන් ක්‍රීඩා කල එම තරගයේ පළමු ඉනිමේ කඩුලු හතකුත් දෙවැනි ඉනිමේ කඩුලු දෙකකුත් දවා ගන්න මම සමත් වුනා.

ඒ දස්කම පාකිස්තානු තේරීම් කමිටුවේ ඇස් ඇරීමක්. නවසීලන්ත කණ්ඩායම සමඟ එම දස්කම දක්වා සති කිහිපයකට පසුව තමයි මට මුල්ම වතාවට පාකිස්තානු ජාතික කණ්ඩායමේ දොරටු විවර වන්නේ.

ක්‍රිකට් ක්‍රීඩා කරන්න සුදුසු අන්දමේ සපත්තු කුට්ටමක් මිලට ගන්න මට ඒ දිනවල ඒ හැටි වත්කමක් තිබුණේ නැහැ.

මට මතකයි නවසීලන්ත සංචාරයට ජාතික කණ්ඩායමට තෝරා ගත් බව ආරංචි වුනාම මම දුරකතනයෙන් කෙළින්ම කතා කලේ ජාවෙඩ් මියැන්ඩාඩ්ට.

“ජාවේඩ් බායි, මම කොපමණ මුදලක් නවසීලන්තයට රැගෙන යා යුතු ද?” මම නොඉවසිල්ලෙන් ඇහුවා.

“පාකිස්තානු රුපියල් 50,000ක් පමණ ඇති වෙයි” කියා ඔහු පැවසුවා.

“අනේ, ජාවේඩ් බායි, මේ වෙලාවේ මා අතේ එතරම් මුදලක් නැහැ. සමාවෙන්න, මට සමහර විට මේ සංචාරයට එක්වෙන්න බැරි වේවි”  මම බිඳුණු හඬින් කිව්වා.

“ඔබ ඔබේ පෞද්ගලික මුදල් රැගෙන යන්න අවශ්‍ය නැහැ. ඔබට පාලක මණ්ඩලයෙන් මුදල් ලැබෙනවා.” මියැන්ඩාඩ් පැවසුවා.

මම පුදුමයට පත්වුණා. තමා ආසම කරන දේ රැකියාව ලෙස කරමින් මුදල් උපයා ගන්න ලැබීම බොහෝ දෙනෙකුට නොලැබෙන අවස්ථාවක්.

1985 ජනවාරියේ ඕක්ලන්ඩ්හීදී මම මගේ ප්‍රථම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විට මම ක්‍රීඩා කරල තිබුණේ පළමු පෙළ තරග දෙකකට හෝ තුනකට පමණයි.

ඩනේඩීන්හි පැවති මගේ දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුළු දහයක් දවා ගන්නට හැකි වුනා. නවසීලන්ත නායක ජෙෆ් හොවාර්ත්, මාර්ටින් ක්‍රෝ, ජෙෆ් ක්‍රෝ, ජෝන් රීඩ් සහ ඉයන් ස්මිත් වැනුන් දවා ගන්නට එදා මට හැකියාව ලැබුණා.

ටෙනිස් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට පටන් ගත් කාලයේ කෙනෙකු මට කිව්වා නම් ඔබ තවත් වසර කිහිපයකින් ඉම්රාන් ඛාන්, ජාවේඩ් මියැන්ඩෑඩ්, සහීර් අබ්බාස් වැනි අය සමඟ ක්‍රීඩා කරයි කියලා එය මාව නොනවත්වා හිනාවට ලක් කරන විහිළුවක් වන්නට තිබුණා. ඒ කාලයේ පවා මගේ සිහිනය වුනේ ටේබල් ටෙනිස් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න.

කුඩා කාලයේ මා වීරයන් ලෙස සැලකූ බොහෝමයක් ක්‍රීඩකයින් සමග උරෙනුර ගැටෙමින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න මට පසුකාලෙක අවස්ථාවක් ලැබුණා. මගේ ක්‍රිකට් ජීවිතයේ ලද සුවිශාලම ජයග්‍රහණය එයයි.”

Wasim: The Autobiography of Wasim Akram සහ Cricket Legends වැඩසටහන ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<