Kohli කවුද මාත් එක්ක බලද්දී?

6212
Khurram Manzoor

ලොව හොඳම පිතිකරුවන් ලැයිස්තුවේ මුල් දහයේ කවුරුන් සිටියත් එහි මුල් ස්ථානයේ තමන් සිටින බවත්, සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli ඔහුට පසුපසින් සිටින බවත් පාකිස්තාන පිතිකරුවෙකු වන Khurram Manzoor පවසනවා.

ආසන්න වශයෙන් සියවසකට එහා අතීතය දෙස හැරී බලද්දී කාලයෙන් කාලයට ක්‍රිකට් ලෝකයේ පතාක යෝධයින් ලෙස නම් සටහන් කළ ක්‍රීඩකයින් සිටි අතර Don Bradman, Viv Richards, Wasim Akram, Sachin Tendulkar, මුත්තයියා මුරලිදරන් වැනි අයගේ නම් අතරේ වැජඹෙන වත්මන් ලෝකයේ සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයා Virat Kohli බව සැකයකින් තොරව ම සඳහන් කළ හැකියි.

Virat Kohli විසින් මේ වන විටත් ක්‍රිකට් තරග රටාවන් තුනේ ම අසමසම වාර්තාවන් සතුකර ගෙන සිටින අතර, මෑත දිනයක පාකිස්තාන පිතිකරුවෙකු වන Khurram Manzoor විසින් ප්‍රකාශ කළේ තම පළමු පෙළ ක්‍රිකට් වාර්තා Virat Kohliගේ වාර්තාවලට වඩා විශිෂ්ට නමුත් පාකිස්තාන තේරීම් කමිටුව විසින් තමන් ව දිගින් දිගටම නොසලකා හැරි බවයි.

Khurram Manzoor පාකිස්තානයේ කරච්චි වලින් බිහි වූ පිතිකරුවෙක් වන අතර, ඔහු මේ දක්වා ජාත්‍යන්තර තරග 26ක (ටෙස්ට්-16, එක්දින-7, විස්සයි විස්ස- 3) දී පාකිස්තාන කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඉන් එක් තරගයක දී ඔහුට Virat Kohliව ද මුණ ගැසී තිබෙනවා.

එම තරගයේ දී දෛවෝපගත ලෙස ලකුණු 10ක් ලබා සිටිය දී Kohliගේ පන්දු එල්ල කිරීමක් හමුවේ ම දුවද්දී දැවී යාමට ඔහුට සිදු වන අතර, එය ඔහුගේ මේ දක්වා පාකිස්තානයට ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස ද සටහන් වුනා.

මේ වන විට 36 හැවිරිදි Manzoor තවමත් පළමු පෙළ පිටියේ දස්කම් දක්වමින් පාකිස්තාන තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට විශාල වෙහෙසක් දරන බවයි දැන ගන්න ලැබෙන්නේ.

මෑතක දී සිය YouTube නාලිකාව හරහා අදහස් දක්වමින් Manzoor පැවසුවේ තමන්ව Kohli සමඟ සංසන්දනය කිරීමට අවශ්‍යතාවක් නැති නමුත් සිය පළමු පෙළ (List A) තරග වාර්තා Kohliව අබිබවා යන බවයි.

“මම මාවම Kohli සමඟ සංසන්දනය කරන්නේ නැහැ. නමුත් එක්දින තරගවල කවුරු හොඳම පිතිකරුවන් 10දෙනා අතර සිටියත්, මම තමයි අංක එක. Kohli ඉන්නේ මට පිටුපසින්.

මගේ Conversion Rate එක (අර්ධ ශතකයක්, ශතකයක් බවට පරිවර්තනය කර ගැනීමේ ශීඝ්‍රතාව) Kohliට වඩා වැඩියි. ඔහු සෑම ඉනිම හයකට වරක් ම ශතකයක් ලබා ගන්නවා, මම සෑම ඉනිම් 5.68කට වරක් ම ශතකයක් ලබා ගන්නවා. පසුගිය අවුරුදු 10 තුල මගේ පිතිකරණ සාමාන්‍ය 53ක්, ඒ වගේම මම ලෝක පළමු පෙළ ක්‍රිකට් පිතිකරුවන් අතර මම පස්වැනියා විදිහටයි ඉන්නේ.

මම අවසාන ඉනිම් 48 තුල දී ශතක 24ක් රැස් කරලා තියෙනවා. කවුරු පාකිස්තානය වෙනුවෙන් ආරම්භක පිතිකරු විදිහට ක්‍රීඩා කළත් මමයි ඒ හැමෝම අතරින් වැඩිම ලකුණු ලාභියා. මමයි National T20 තරගාවලියේ වැඩිම ලකුණු වගේම ශතක ලාභියාත් වෙන්නේ. එහෙම වෙලත් මාව නොසලකා හරිනවා. ඒ වගේම කවුරුවත් කවදාවත් මට ඒ වෙනුවෙන් සාධාරණ හේතු දැක්වීමක් කරලත් නැහැ.”

නමුත් Khurram සඳහන් කරන සංඛ්‍යාත්මක දත්තවල සුළු නිවැරදි කිරීමක් සිදු කළ යුතු අතර, ඉනිම් 295කින් ශතක 50 වාර්තා කර ඇති Kohli ඉනිම් 5.9කට වරක් ශතකයක් රැස්කර ඇති අතර, ඉනිම් 165ක් ක්‍රීඩා කර ශතක 27ක් ලබා ඇති Khurram ඉනිම් 6.1කට ශතකයක් බැගින් රැස් කිරීමට සමත් වී තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<