Warner සහ Khawaja පරණ කුණු අවුස්සා ගනී!

The Ashes 2023

2461

2023 අළුබඳුන තරගාවලිය නිමා වෙලා දැන් සති කිහිපයක් ම ගෙවිලා ගිහින්. ඒත් තවමත් අළුබඳුනේ උණුසුම නම් නිවිලා ගිහින් නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

මේ දිනවල ක්‍රීඩා ලොව උණුසුම් මාතෘකාවක් වන කාන්තා පාපන්දු ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (16) සවස ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඇති වසර ගණනාවක ක්‍රීඩාමය එදිරිවාදිකම් නිසාම මෙම තරගය ඉතාම උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවටත් බොහෝ දෙනා විශ්වාසය පළ කරනවා.

ඒ අතරම මෙම තරගය තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් තෝතැන්නක් කරගන්න ඕස්ට්‍රේලියානු ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන David Warner සහ Usman Khawaja විසින් තීරණය කරලා තියෙනවා.

මෙවර අළුබඳුන තරගාවලිය 2-2ක් ලෙස සම මට්ටමින් නිමා වූ අතර තරගාවලිය පුරාවටම විවිධාකාරයේ මතභේදකාරී සිදුවීම් නම් වාර්තා වුනා. ඒ අතරින් තරගාවලියේ අවසන් සහ පස්වැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ අවසන් පන්දුවාර කිහිපය තුළ එංගලන්ත පන්දු යවන්නන් විසින් භාවිත කළ පන්දුව මාරු කිරීම ගැන ඕස්ට්‍රේලියාවෙන් එල්ල වුනු චෝදනාවටත් විශේෂ තැනක් හිමි වෙනවා.

අවසන් තරගයේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් සිටි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය වුන Warner සහ Khawajaට වගේම අනෙක් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ටත් මේ පන්දුව මාරු කිරීම විශාල බලපෑමක් එල්ල කළ බව තමයි ඕස්ට්‍රේලියාව එල්ල වුන ප්‍රධානතම චෝදනාව වුනේ.

හිටපු ඕස්ට්‍රේලියානු නායක Ricky Ponting මේ චෝදනාව ගැන වහාම විමර්ශනය කළ යුතු බවටත් යෝජනා කළා. ඒ වගේම මේ මාරු කළ පන්දුව ආසන්න ලෙස වසර පහක් වත් පරණ පන්දුවක් බවට නැගුණු චෝදනා නිසා මෙම පන්දු (Dukes පන්දු) නිෂ්පාදනය කරන ආයතන හිමිකරුවන්ගේ නම් පවා මේ කතාවට ඈඳුණා.

මේ සිදුවීම් වල උණුසුම වියැකී යන්න පටන් ගනිද්දී ම තමයි එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ ප්‍රතිවාදීන් බවට පත් වුනේ.

“The Matildas වෙනුවෙන් කලින් ම සුබ පැතුම්.

ඔවුන් පන්දුව වෙනස් කරන්න ඉල්ලීම් කරාවි ද කියලා විමසිල්ලෙන් ඉන්න.”

(The Matildas – ඕස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායමේ නිල නාමය)

අළුබඳුනේ දී සිදු වූ පන්දු මාරුව ගැන නැවත සිහිපත් කරමින් ම අද පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායමට සුබ පතමින් Warner විසින් තැබූ මේ Twitter සටහනට ප්‍රතිචාර දක්වපු ඔහුගේ පිතිකරණ සගයා Usman Khawaja විසින් 2010 ලෝක කුසලානය වෙනුවෙන් භාවිත වුනු සුප්‍රසිද්ධ “Jabulani” පාපන්දුවත් මේ කතාවට ඈඳා ගන්නවා.

“ඔවුන් යන්නේ 2010 ‘Jabulani’ පන්දුව සමඟයි.”

තරමක් වෙනස් විදිහේ සැකැස්මක් සහිතව 2010 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් කරළියට පැමිණි Jabulani පාපන්දුවේ හැසිරීම (අස්ථිර සහ අනපේක්ෂිත චලනයන් නිසා) නිසා තරමක් මතභේද වලට තුඩු දුන් එකක් වුනා.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේ මේ ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමින් 2018 පන්දුව පළුදු කිරීමේ සිදුවීම (2018 වසරේ දී දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගයක් අතරතුර වැලි කඩදාසියක් භාවිතයෙන් පන්දුව පළුදු කිරීමේ වරදේ ප්‍රධාන චූදිතයෙක් ලෙස Warnerගේ නමත් සටහන් වුනා.) වැනි කරුණුත් මේ කතාබහ අතරට ගෙන එන්න Twitter පරිශීලකයින් නම් අමතක කරලා තිබුණේ නැහැ.

මේ තරගයේ දී නම් වැලි කඩදාසි භාවිත කිරීමෙන් ඔබේ කණ්ඩායමට කිසිම වාසියක් ලැබෙන එකක් නැහැ.

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි.

ක්‍රීඩා ලෝකයේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<