අවිශ්ක සහ ලහිරුගේ ගිණිකෙළි සමඟින් Reds සහ Greys ජයග්‍රහණ වාර්තා කරයි

Dialog-SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

6509

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Dialog-SLC ආරාධිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ තවත් තරග දෙකක් අද (16) පැවැත්වුනා. දිනයේ පළමු තරගය සඳහා SLC Greens සහ SLC Reds ද දෙවන තරගයට සඳහා SLC Blues සහ SLC Greys සහභාගී වූ අතර එහි දී SLC Reds සහ SLC Greys ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා. 

අද පැවැති තරග වලදී SLC Reds තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ අවිශ්ක ප්‍රනාන්දුගේ සුපිරි පිතිකරණයත් සමඟින්. රාත්‍රී තරගයේ දී ලහිරු මධුශංකගේ දක්ෂතා සමඟින් Greys සිය අපරාජිත වාර්තාව තවදුරටත් රඳවා ගැනීමට සමත් වුනා. 

SLC Greens සහ SLC Reds 

කාසියේ වාසිය දිනාගත් Greens නායක අශාන් ප්‍රියන්ජන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි Greens ආරම්භක පිතිකරුවන් වූ ලහිරු උදාර සහ ක්‍රිශාන් සංජුල ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 27ක් එක් කළා. පළමු කඩුල්ල ලෙස ලහිරු උදාර දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේයි. ඉන් අනතුරුව පිටියේ එක්වූ ක්‍රිශාන් සංජුල සහ පැතුම් නිස්සංක හට සාර්ථක වීමට Reds පන්දු යවන්නන් ඉඩ ලබානොදුන් අතර Greens ලකුණු පුවරුව ලකුණු 33ක් වෙද්දී ඔවුන් දෙදෙනාම ප්‍රේක්ෂකාගාරයට හරවා යැවීමට සීක්කුගේ ප්‍රසන්න සමත් වුනා. 

Greens සිව්වැනි කඩුල්ල ලෙස අශාන් ප්‍රියන්ජන් ලකුණු 52ක් වෙද්දී දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියේ එක්වූ කමිඳු මෙන්ඩිස් සහ සම්මු අශාන් සිය කණ්ඩායමට සාර්ථක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් වුනා. පස්වැනි කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනා ගොඩනැගූ ලකුණු 75ක සම්බන්ධතාවය බිඳ දැමීමට චාමික කරුණාරත්න සමත් වුනේ සම්මු අශාන් ලකුණු 29කට දවා ගනිමින්. 

පසුගිය තරග දෙකේදීම අඛණ්ඩව අර්ධ ශතක වාර්තා කළ කමිඳු මෙන්ඩිස් මෙම තරගයේ දී සිය තුන්වන අර්ධ ශතකය ද වාර්තා කිරීමට සමත් වුනා. පන්දු 42ක් තුළ වාර්තා වූ ඔහුගේ ලකුණු 66ට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුනා.  

නියමිත පන්දුවාර 20 අවසානයේදී Greens කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 143ක් වාර්තා කර තිබුනා. පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න කඩුලු 3ක් දවා ගත්තේ පන්දුවාර 4ක් තුළ ලකුණු 26ක් පමණක් ලබාදෙමින්.  සීක්කුගේ ප්‍රසන්න කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා. 

ලකුණු 144ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට Reds කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ දිනේෂ් චන්දිමාල් සහ අවිශ්ක ප්‍රනාන්දු එක්වුනා. ඔවුන් දෙදෙනා Greens පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදෙමින් තරගාවලියේ පළමු ශතක සම්බන්ධතාවය ගොඩනැගීමට සමත් වුනා. ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී දිනේෂ් චන්දිමාල් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වන විට Reds කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 133ක් වාර්තා කරගෙන සිටියා. දිනේෂ් චන්දිමාල් ලකුණු 51ක් වාර්තා කළේ පන්දු 44ක් පමණක් වැය කරමින්. 

Reds කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 17 යි පන්දු 3ක දී පසුකර යාමට සමත් වුනා. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 82ක් වාර්තා කළේ පන්දු 58 කින්. එයට හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් ඇතුළත් වුනා.  

ඒ අනුව Reds කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ කඩුලු 10 කින්. 

SLC Greens – කඩුලු 7 ක් දැවී ලකුණු 143 (20) : කමිඳු මෙන්ඩිස් 66, සම්මු අශාන් 29, ක්‍රිශාන් සංජුල 15, චාමික කරුණාරත්න 3/26, සීක්කුගේ ප්‍රසන්න 2/20. 

SLC Reds – කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 144 (17.3) : අවිශ්ක ප්‍රනාන්දු 82, දිනේෂ් චන්දිමාල් 51. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න : 

SLC Greys සහ SLC Blues 

Greys සහ Blues අතර තරගය අද දෙවන තරගය ලෙස පැවති අතර එහි දී කාසියේ වාසිය දිනාගත් Greys නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් වූ මිනෝද් භානුක සහ ලසිත් කෲස්පුල්ලේ පන්දුවාර 3ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් සමත් වුනා. තුන්වන කඩුල්ල ලෙස කමිල් මිශාර දැවී යන විට Greys ලකුණු පුවරුව දැක්වුනේ ලකුණු 36ක් ලෙසයි. සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 8ක් රැස් කරගෙන සිටි දසුන් ශානක දවා ගැනීමට මහීශ් තීක්ශණ සමත් වුනා.  

ඉන් අනතුරුව පිටියේ එක්වූ චරිත් අසලංක සහ ලහිරු මධුශංක පසුබෑමකට ලක්ව සිටි Greys ඉනිම ශක්තිමත් සමත් වුනා. ඔවුන් දෙදෙනා වේගවත් ඉනිමක් දියත් කරමින් පස්වන කඩුල්ල සඳහා නොබිඳුනු ලකුණු 122ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වුනේ පන්දු 73ක් පමණක් වැය කරමින්. චරිත් අසලංක පන්දු 44ක් තුළ ලකුණු 54ක් රැස්කළ අතර කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ලහිරු මධුශංක පන්දු 39ක් තුළ ලකුණු 74ක් රැස්කළේ සිය ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින්. 

Blues කණ්ඩායම වෙනුවෙන් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ සුරංග ලක්මාල් හට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් එම පන්දුවාරයේ දී හතරේ පහර  තුනක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 26ක් වාර්තා කිරීමට ලහිරු මධුශංක සමත්වීම විශේෂත්වයක්.  

Greys කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 167ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, මහීශ් තීක්ශණ සහ ඩිල්ශාන් මධුශංක එක් කඩුල්ල බැගින් දවා ගත්තා. 

ලකුණු 168ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Blues කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 35ක් තුළ දවා ගැනීමට Greys කණ්ඩායම සමත් වුවත් ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ලකුණු 58ක් වාර්තා කරමින් Blues ලකුණු පුවරුව ශක්තිමත් කිරීමේ වගකීම ඉටුකළා. 

තරගයේ අවසන් පන්දුවාර කිහිපයේ දී අශේන් බණ්ඩාර ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ ද පන්දු 15ක් තුළ ඔහු රැස් කළ වේගවත් ලකුණු 29, Blues කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුනේ නැහැ. නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී Blues කණ්ඩායමට වාර්තා කරගැනීමට හැකි වුනේ ලකුණු 151ක් පමණයි. පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් සහ දසුන් ශානක කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා. 

ඒ අනුව ලකුණු 16ක ජයග්‍රහණයක් Greys කණ්ඩායමට හිමි වුනා. 

SLC Greys – කඩුලු 4ක් දැවී ලකුණු 167 (20) : ලහිරු මධුශංක 74, චරිත් අසලංක 54, ධනංජය ද සිල්වා 1/27, මහීශ් තීක්ශණ 1/23. 

SLC Blues – කඩුලු ක් දැවී ලකුණු (20) : සධීර සමරවික්‍රම 58, අශේන් බණ්ඩාර 29, ධනංජය ද සිල්වා 16, නුවන් ප්‍රදීප් 2/22 , දසුන් ශානක 2/24. 

හෙට (17) දිනයේ දී තරගාවලියේ කිසිඳු තරගයක් නොපැවැත්වෙන අතර එළඹෙන 18 වැනිදා තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. එහි දී SLC Reds සහ SLC Blues අතර තරගය දිවා තරගය ලෙසත් SLC Greens සහ SLC Greys අතර තරගය රාත්‍රී තරගයක් ලෙසත් පැවැත්වීමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<