Stokes IPL අත්හැර ලෝක කුසලානය රැකගැනීමේ සටනට පිවිසෙන ලකුණු

2201

එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes නැවතත් එක්දින ක්‍රිකට් තරග රටාව සමඟ එක් වීමට ඉඩ පවතින බව එංගලන්තයෙන් වාර්තා වනවා.

එංගලන්ත ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වන The Telegraph විසින් හෙළිදරව් කරන අන්දමට මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය වෙනුවෙන් Stokes සහභාගී වීමට ඉඩ ඇති අතර, ලබන වසරේ පැවැත්වීමට නියමිත IPL තරගාවලිය බොහෝ විට ඔහුට මගහැරී යාමටත් ඉඩ කඩ පවතිනවා.

“මීළඟ IPL තරගාවලිය අහිමි වුව ද, මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය ආරක්ෂා කර ගැනීමට උපකාර කිරීම සඳහා Stokes විසින් සිය සීමිත පන්දුවාර තරග රටාවට සමුදීමේ තීරණය නැවත හැරවීමට සූදානම් වෙයි.

එංගලන්ත සුදු පන්දු නායක Jos Buttler විසින් ඉල්ලීමක් සිදු කළහොත් එංගලන්ත ටෙස්ට් නායකයා ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් සිටින බවයි පෙනෙන්නට තිබෙන්නේ.”

පසුගිය වසරේ දී සීමිත පන්දුවාර ක්‍රිකට් තරග රටාවට සමුදීමට තීරණය කළ Stokesගේ නැවත පැමිණීම පිළිබඳ The Telegraph පුවත්පත විසින් එසේ හෙළිදරව් කර තිබෙනවා.

නමුත් පසුගිය වසරේ පැවැත්වුණු IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ වටිනාකමක් (කෝටි 16ක) සමඟින් Chennai Super Kings සමඟ එක් වූ Stokes නැවත එක්දින තරග රටාවට පැමිණිය හොත් ඔහුගේ ලබන වසරේ IPL සහභාගීත්වයට නම් යම් බලපෑමක් එල්ල විය හැකි බවයි ඔවුන් විසින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එංගලන්ත කණ්ඩායම නැවතත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය වන තෙක් ටෙස්ට් තරග පහකින් සමන්විත තරගාවලියක් සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි.

එම මාස දෙකක කාලයෙන් පසුව තවත් මාස දෙකක කාලයක් IPL තරගාවලිය පැවැත්වීමට නියමිත ව ඇති නිසා Stokes එළඹෙන IPL තරගාවලියත් ක්‍රීඩා කරයි නම් ආසන්න වශයෙන් මාස හතරක්/පහක් ඉන්දියාවේ සිටීමට සිදු වනවා.

නමුත් මෙම කාල සීමාව තුළ ඔහු සිය දණහිසේ ශල්‍යකර්මයකට භාජනය වීමට යම් අවස්ථාවක් ද ඇති අතර එම නිසා සිය ශල්‍යකර්මය වෙනුවෙන් සහ වෙහෙසකර තරග කාලසටහනකින් මිදීම වෙනුවෙන් Stokes විසින් මීළඟ IPL තරගාවලිය මඟ හැරීමට ඉඩ පවතිනවා.

“යම් අවස්ථාවක දී Stokesගේ දණහිස ශල්‍යකර්මයකට භාජනය විය හැකි අතර, එයින් පසු යතා තත්වයට පත් වීමට ඔහුට සිය කාලසටහනෙන් යම් හිඩැසක් අවශ්‍ය වුවහොත් ඔහු මීළඟ IPL තරගාවලිය අත්හැර දමනු ඇත.”

Stokesගේ ඉදිරි තරග සැලසුම් පිළිබඳ සහ දණහිසේ ආබාධය පිළිබඳ හෙළිදරව් කරන Telegraph විසින් වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ආබාධය නිසාම ඔහු එළඹෙන ලෝක කුසලාන තරගාවලියට විශේෂඥ පිතිකරුවෙකු ලෙස සිය සහය ලබා දෙනු ඇති බවයි.

“Stokes විසින් එංගලන්ත එක්දින කණ්ඩායමේ මැදපෙළ පිතිකරණයේ යෙදෙන්න ඉඩ තිබෙනවා. ඔහුට කොපමණ පන්දු යැවිය හැකි ද යන බිය නිසා එංගලන්තය ඔහුව විශේෂඥ පිතිකරුවෙකු ලෙස තෝරා ගැනීමට සූදානම් වනවා. එමගින් ඔහුට මෙවර අළුබඳුන තරගාවලියේ දී ඉටු කළ කාර්යය කිරීමට අවස්ථාව ලැබේවී.”

වත්මන් ලෝක ශූරයින් ලෙසින් මෙවර ලෝක කුසලානයට සහභාගී වන එංගලන්ත කණ්ඩායම තරගාවලිය ආරම්භ කරමින් එළඹෙන ඔක්තෝබර් මස 05 වැනි දා නවසීලන්තය සමඟින් තරග වැදීමට නියමිතයි.

එමෙන්ම 2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී එංගලන්තය ජයග්‍රහණය වෙත රැගෙන ගිය Stokes මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වනවා ද නැද්ද යන ගැටලුවටත් ඉදිරියේ දී නිසි පිළිතුරක් ලැබෙනු ඇති.

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<