කෝලිව කණ්ඩායමට ගේන්න කෝලිගේ පියා අල්ලස් දුන්නා ද?

53

ඉන්දියානු නායක විරාත් කෝලි පසුගිය දා මාධ්‍ය හමුවක දී පෙරළිකාර ප්‍රකාශයක් කළා. ඒ තමාව දිල්ලි ප්‍රාන්තයේ කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම ඇතුළත් කර ගැනීමට තම පියා නිලධාරීන්ට අල්ලස් ලබා දීම ප්‍රතික්ෂේප කළ බව පවසමින්.

IPL ලංකාවේ පවත්වන්න හේඩ්න්ගෙන් යෝජනාවක්

මේ වන විට ලොව අංක එකේ එක්දින පිතිකරු වන කෝලි, තමාගේ පියාගෙන් අල්ලස් ඉල්ලූ පුද්ගලයාගේ නම හෙළි නොකළ නමුත් තමාව කණ්ඩායමෙන් ප්‍රතික්ෂේප වූ පසු තමා දැඩි සිත්තැවුලට පත් වූ බව ප්‍රකාශ කර සිටියා. 

“මගේ නිවාස පිහිටා තිබෙන ප්‍රාන්තයේ, ඇතැම් වෙලාවට සිදු වෙන දේවල් එතරම් සාධාරණ නැහැ” කෝලි අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු වැඩසටහනක දී පවසා සිටියා.

“එක අවස්ථාවක දී, එක්තරා පුද්ගලයෙක් නීති රීතිවලට අනුකූලව නෙවෙයි ක්‍රීඩකයින් තෝරාගත්තේ” ඉන්දිය නායකයා පවසා සිටියා.

“ඔහු මගේ පියාට පවසා තිබුණා, මට සියලුම දක්ෂතා තිබුනත් මාව කණ්ඩායමට ගැනීමේ තීරණය තහවුරු කරන්න නම් ඔහුට අල්ලසක් අවශ්‍යයි කියලා.”

නමුත් කෝලිගේ පියා එයට විරුද්ධ වී ඇත්තේ සිය පුත්‍රයාගේ දක්ෂතා අනුව පමණක් ඔහු කණ්ඩායමට තේරී පත් විය යුතුයි යන මතය දරමිනුයි.

“මගේ පියා මෙසේ පවසා සිටියා, ඔබට විරාත්ව තෝරා ගන්න ඕනේ නම්, කරුණාකර ඔහුගේ දක්ෂතා නිසා පමණක් තෝරා ගන්න, මම ඔබට වෙන කිසිවක් අමතර දේවල් දෙන්නේ නැහැ.”

කෝලි පවසා සිටියේ කණ්ඩායමට තමාව තෝරා නොගත් බව දැන ගත් පසුව තමන් දැඩි සේ දුක් වූ බවයි. “මම ගොඩක් හැඬුවා, මගේ හිත හොඳටම කැඩිලයි තිබුණේ” කෝලි පවසා සිටියා.

“මට ඕනේ අපේ අගමැතිතුමා වගේ වෙන්න” – බාබර් අසාම්

“ඒ සිදුවීම මට ගොඩක් දේවල් ඉගැන්නුවා, මම තේරුම් ගත්තා එහෙම තමයි ලෝකය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔයාට ඉදිරියට යන්නට ඕනෑ නම් කවුරුවත් කරන දේවල් කරන්න එපා, කිසිකෙනෙක් නොකරන දෙයක් කරන්න, මට සාර්ථක වෙන්න ඕන නම් මම අතිවිශිෂ්ට වෙන්න ඕනේ, ඒ සාර්ථකත්වය මගේ දහදිය මහන්සියෙන්ම ළඟා කරගන්න ඕන.”

“මගේ පියා ඔහුගේ වචනවලින්ම පමණක් නොවෙයි ක්‍රියාවෙන්ම හරි මාර්ගය මට පෙන්වූවා, ඒ වගේ පොඩි දේවල්වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.”

කෝලි, 18 හැවිරිදි වියේ දී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් රංජි කුසලානයේ තරගයක් ක්‍රීඩා කරද්දී වෘත්තීය නීතිඥයෙක් වූ ඔහුගේ පියා මෙලොව හැර ගියා. ඒ දිනයට පසු දින ඔහු නැවත පිත්ත අතට ගෙන පිටිය මැදට ගියේ තමාගේ ආත්ම ශක්තිය මනාව පෙන්නුම් කරමිනුයි.

“මම ඔහුගේ මරණය භාරගත්තේ මගේ ක්‍රීඩා ජීවිතේ ඉස්සරහට ගෙනි යන්න ඕන කියන අධිෂ්ඨානයෙන් යුතුවයි” කෝලි පවසා තිබුණා.

“ඔහුගේ මරණයෙන් මම තේරුම්ගත්ත දෙයක් තමයි මම මගේ ජීවිතයටත් අර්ථවත් දෙයක් කරන්න ඕන කියලා, දැන් මට හිතෙනවා මට ඔහුට හොඳ සාමකාමී විශ්‍රාම දිවියක් දෙන්න තිබුණා නම් කොච්චර හොඳ ද කියලා. මම බොහොම හැඟුම්බර වෙනවා ඔහුව මතක් වෙද්දී.”

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<