සංග්‍රාම භූමියේ ශ්‍රී ලංකාවේ පළමු අරගලය

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

273
Sri Lanka vs Ireland Super 12 Preview

ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 12 දෙනාගේ වටයේ පළමු තරගය හෙට (23) අයර්ලන්තය සමඟ Hobart හී Bellerive Oval ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතයි.

සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට සහභාගී වූ ශ්‍රී ලංකාව Group A කාණ්ඩයෙන් පළමුවැනියා වෙමින් මෙම වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත් අතර අයර්ලන්තය Group B කාණ්ඩයෙන් දෙවැනියා වෙමින් සුදුසුකම් සපුරා ගත්තා.

අයර්ලන්තය මෙම අවස්ථාව දිනා ගන්නේ 2012 සහ 2016 වසර ද්විත්වයේ විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගනිමින්, එසේ ලෝක කුසලානය දෙවරක් දිනූ එක ම රට ලෙස වාර්තා ගත ඉතිහාසයකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව්වෝ පරාජය කරමින්.

එම පරාජයත් සමඟින් කොදෙව්වෝ Group B කාණ්ඩයේ අන්තිමයා බවට පත් වූ අතර ඒ මගින් ම ඔවුන්ගේ ලෝක කුසලාන ගමන ද නිමා වුනා. ඔවුන් සමඟ පැවති අවසන් තරගයේ දී අයර්ලන්තයට කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වෙනවා.

  • අයර්ලන්ත සංචිතය: Andy Balbirnie (නායක), Paul Stirling, Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Stephen Doheny, Fionn Hand, Josh Little, Barry McCarthy, Conor Olphert, Simi Singh, Harry Tector, Lorcan Tucker, Craig Young
  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ

අයර්ලන්තය

පළමු ලෝක කුසලානය හැරෙන්නට අනෙක් සෑම ලෝක කුසලාන තරගාවලියක් ම නියෝජනය කළ අයර්ලන්තය වසර 13කට පසුවයි තරගාවලියේ මෙවැනි වටයක් නියෝජනය කරන්නේ.

මීට පෙර ඔවුන්, William Porterfieldගේ නායකත්වයෙන් යුත් 2009 වසරේ කණ්ඩායම සුපිරි කණ්ඩායම් 8 අතරට පිවිසීමට සමත් වුනා. එම තරගාවලියේ දී ඔවුන් ශ්‍රී ලංකාව ද ඇතුළත් වූ Group F කාණ්ඩයෙන් තරග වදින අතර එහි දී හිමි වෙන්නේ එම කාණ්ඩයේ අවසන් ස්ථානය වූ සිව්වැනි ස්ථානයයි.

කෙසේ වෙතත් ඔවුන් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ තරග 21කට සහභාගී වෙමින් ජයග්‍රාහී තරග 6ක්, පරාජිත තරග 12ක් සහ නොවිසඳුණ තරග 3ක් ලෙස තම ගමන නැංගුරම් ලා සිටිනවා.

මෙම තරගයේ දී දසුන් ශානක සමඟින් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසෙන්නේ පසුගිය ලෝක කුසලානයේ දී ද අයර්ලන්ත කණ්ඩායමේ නායකයා වූ 31 හැවිරිදි වියේ පසුවෙන Andy Balbirnie.

ආරම්භක පිතිකරුවෙක් ලෙසින් කටයුතු කරන ඔහු මේ දක්වා අවස්ථා 45ක දී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. ඉන් තරග 17ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් වෙන අතර පරාජිත තරග 26ක්, ලකුණු සම වීමෙන් අවසන් වූ තරගයක් සහ නොවිසඳුණ තරගයක් ද ඒ අතර තිබෙනවා.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 79ක අත්දැකීම් සපිරි ඔහු මේ වන විට විස්සයි විස්ස ලකුණු 1657ක් ලබා ගෙන තිබෙනවා. එය අයර්ලන්ත ඉතිහාසයේ තෙවැනියට ලැයිස්තු ගත වූ දක්ෂතාවයි.

නිමා වූ ආසන්ත ම තරගයේ දී අයර්ලන්තයේ සුවිශේෂී බලාපොරොත්තුව බවට පත් වීමට දකුණත් ආරම්භක පිතිකරු Paul Stirling සමත් වුනා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග 2 දී ම තනි ඉලක්කමේ ලකුණු රැස් කළ Paul අත්‍යවශ්‍ය ම තරගයේ දී අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු අතරට පිවිසීම ප්‍රතිවාදීන්ට තරමක අවදානමක්.

ඔහු මේ දක්වා අයර්ලන්තය වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ද ඉතිහාසයට එක් ව සිටිනවා. ඔහු ලබා ඇති ලකුණු ප්‍රමාණය තරග 117ක දී ලකුණු 3085ක්.

එම දක්ෂතාව ලෝක විස්සයි විස්ස පිටියේ 5 වැනි ස්ථානයට ලැයිස්තු ගත වෙන අතර  එක්දින ජාත්‍යන්තර පිටියේ ද තරග 139කට මුහුණ දෙමින් ලකුණු 5172ක් රැස් කරගෙන සිටිනවා. එය අයර්ලන්ත ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි දක්ෂතාවයි.

මෙවර ලෝක කුසලාන තරගවල අයර්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වී සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක්ව සිටින Curtis Campher. ඔහු නිමා වූ තරග 3 දී ඉනිම් දෙකක දී වාර්තා කරන ලද ලකුණු ප්‍රමාණය නොදැවුණ අර්ධ ශතකයක් ද සමඟින් 99ක්. එහි සාමාන්‍ය ද 99.00ක් වෙනවා. නමුත් පන්දු යවන්නෙක් ලෙස තවමත් ඔහුට තම රිද්මයට පැමිණීමට නොහැකි වී තිබෙනවා. එය යම් තරමක අස්වැසිල්ලක්.

ඔවුන්ට අමතරව අයර්ලන්තයේ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයන් අතරින් 30 හැවිරිදි වියේ පසු වෙන George Dockrellගේ නම ද ඉහළින් ම පැවසෙනවා. ඔහු මේ දක්වා තරග 108ක දී ලකුණු 758ක් ලබා සිටින අතර වමතින් දඟපන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 80ක්. එය අයර්ලන්ත ඉතිහාසයේ පන්දු යවන්නෙක් ලබා ඇති ඉහළ ම කඩුලු සංඛ්‍යාවයි.

මේ අයුරින් ම පිතිකරුවන් අතර මැදපෙළින් පිටියට පිවිසෙන Lorcan Tuckerට ද හිමි වෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්.

පන්දු යවන්නන් අතරින් අයර්ලන්තයේ වැඩි විශ්වාසය දිනා ඇත්තේ වමතින් වේගපන්දු යවන Josh Little, පා දඟපන්දු යවන Gareth Delany, දඟපන්දු යවන Simi Singh සහ දකුණතින් වේගපන්දු යවන Mark Adair වෙතයි.

ශ්‍රී ලංකාවට එරෙහිව හෙට තරගයට පිවිසෙතැයි අනුමාන කෙරෙන අයර්ලන්ත කණ්ඩායම: Andy Balbirnie (capt), Paul Stirling, Lorcan Tucker (wk), Harry Tector, Curtis Campher, George Dockrell, Gareth Delany, Mark Adair, Simi Singh, Barry McCarthy, Josh Little

ශ්‍රී ලංකාව

විස්සයි විස්ස ලෝක කුසලාන ආරම්භක තරගාවලියේ සිට ම තරග පිටියට පිවිසි ශ්‍රී ලංකාව 2009 සහ 2012 වසරවල අනු ශූරතාවනුත්, 2014 වසරේ ශූරතාවත් දිනා ගත් අභිමානයෙන් යුතුව මෙවර තරගාවලියට එක් වෙනවා.

ශ්‍රී ලංකාව මේ දක්වා ලෝක කුසලාන තරග 46කට සහභාගී වී ඇති අතර ඉන් තරග 29ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. පරාජිත තරග 16ක් වන අතර එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් ව තිබෙනවා.

31 වැනි වියේ පසුවෙන දසුන් ශානක මෙම තරගයට එක් වෙන්නේ තම 78 වැනි විස්සයි විස්ස තරගය වෙනුවෙන්. මේ දක්වා ඉනිම් 73ක දී ලකුණු 1163ක් ලබා ගැනීමට ඔහු සමත් ව සිටිනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 37ක් මෙහෙයවා ඇති දසුන් ඉන් තරග 19ක් ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වෙන අතර තරග 17ක් පරාජයටත් එක් තරගයක් ලකුණු සම වීමෙනුත් නිමා කරනවා.

මේ වෙද්දී දසුන්ගේ කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත ම පිතිකරුවන් වී සිටින්නේ ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා ම අර්ධ ශතක ඉනිම් සමඟින් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථාන දෙකේ රැඳී සිටිනවා.

කෙසේ වෙතත්, එරටින් ලැබෙන ආරංචි මාර්ග අනුව අයර්ලන්තය සමඟ තරගයේ දී පැතුම්ගේ සහභාගීත්වය නිශ්චිත නැහැ. පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය වූ නෙදර්ලන්තය හා සමඟ තරගයේ දී ආබාධිත තත්ත්වයට පත් පැතුම් පන්දු රැකීමෙන් වැළකී සිටි අතර මේ වන විට ඔහු සුවය ලබා ඇතැයි ද පැවසෙනවා. එසේ වූවත් ඔහු ඉදිරි තරග වෙනුවෙන් යොදා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම තරගයේ දී විවේක ගැන්වෙනු ඇති බවයි පැවසෙන්නේ.

එසේ වුවහොත්, ඒ වෙනුවට බොහෝ විට 23 හැවිරිදි වියේ පසුවෙන මැදපෙළ පිතිකරු අශේන් බණ්ඩාර කණ්ඩායමට එක්කර ගනු ඇතැයි සිතිය හැකියි.

ඒ අනුව පැතුම්ගෙන් හිස් වෙන ආරම්භක පිතිකරු භූමිකාවට චරිත් අසලංක එක් කර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් කණ්ඩායමේ පිතිකරු පෙළ ගැස්මෙහි විශාල වෙනසක් ද සිදු වෙනු ඇත.

එසේ වුවහොත්, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, දසුන් ශානක සහ වනිඳු හසරංග පිතිකරු ලැයිස්තුවේ ඉහළින් පෙළ ගැස්වෙන අතර ඉන් පසුව අශේන් බණ්ඩාර එක් කරතැයි සිතේ.

කෙසේ වෙතත් පසුගිය තරගයේ දී ආකර්ශනීය ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේ දී දීර්ඝ ඉනිමකට යා හැකි නම්, තම විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 වාර්තා කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් විය හැකි. ඔහු මේ දක්වා තරග 44කට ක්‍රීඩා කරමින් ලබා සිටින ලකුණු ප්‍රමාණය 939ක්.

මේ අතර ආබාධිත තත්ත්වයක් හේතුවෙන් පෙර තරගයට ක්‍රීඩා නොකළ දකුණතින් වේගපන්දු යවන ප්‍රමෝද් මධුශාන් ද මේ වන විට සුපුරුදු තත්ත්වයට පිවිස ඇති බැවින් හෙට තරගයට කැඳවෙනු ඇතැයි ද පැවසේ. එසේ වුවහොත් පෙර තරගයට ක්‍රීඩා කළ ලහිරු කුමාර හෝ බිනුර ප්‍රනාන්දුට තම ස්ථාන අහිමි වීමේ අවදානමක් තිබෙනවා.

අයර්ලන්තය සමඟ  තරගයට එක් වෙනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම: පැතුම් නිස්සංක/ අශේන් බණ්ඩාර, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) චරිත් අසලංක, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක) වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු/ ප්‍රමෝද් මධුශාන්

ශ්‍රී ලංකා – අයර්ලන්ත ද්වන්ද තරග ඉතිහාසය

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය විස්සයි විස්ස තරග පිටියේ දී මේ හමුවෙන්නේ ඉතිහාසයේ තෙවැනි වතාවටයි.

ඔවුන් පළමු වරට එකිනෙකා හමුවෙන්නේ 2009 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. තියුණු අවසානයකින් යුත් එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 9ක ජයග්‍රහණයක් හිමි වෙනවා.

අනතුරුව ඔවුනොවුන් නැවත හමුවෙන්නේ ඊට වසර 12කට පසුව, එනම් 2021 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අබුඩාබි නගරයේ දී. එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 70ක පහසු ජයග්‍රහණයක් හිමි වෙනවා.

එදා එම තරගයේ නායකයන් වූයේ දසුන් ශානක සහ Andy Balbirnie. අද ඔවුන් දෙදෙනාගේ ම මෙහෙයවීමෙන් තම කණ්ඩායම් 2022 ලෝක කුසලාන සංග්‍රාම භූමියට පිවිසීමට නියමිතයි.

Hobart ඉතිහාසය

තරගය පැවැත්වෙන Hobart හී Bellerive Oval ක්‍රීඩාංගණ තරග ඉතිහාසයේ මංගල ජාත්‍යන්තර එක්දින තරගයට සහ මංගල ටෙස්ට් තරගයට ද සහභාගී වීමට ශ්‍රී ලංකාව සමත් ව තිබෙනවා. ඒ පිළිවෙළින් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟයි.

1988 ජනවාරි මාසයේ දී පැවති නවසීලන්තය සමඟ එක්දින තරගයේ දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වෙන අතර 1989 දෙසැම්බර් මාසයේ පැවති ඕස්ට්‍රේලියාව සමඟ  ටෙස්ට් තරගයේ දී ප්‍රතිවාදීන් ජයග්‍රහණය කරනවා.

කෙසේ වෙතත් මේ දක්වා විස්සයි විස්ස තරග 9කට සත්කාරකයන් වූ Bellerive Oval ක්‍රීඩාංගණයේ මෙතෙක් එකඳු හෝ තරගයක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී නැහැ.

නමුත් අයර්ලන්තය තරග 3කට සහභාගී වී ඇති අතර ඉන් තරග 2ක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වෙනවා. ඔවුන් එහි අවසන් වරට ජයග්‍රහණය කරන්නේ ලෝක කුසලාන සුපිරි වටයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගයේ දීයි.

කාසියේ වාසියේ බලපෑම සහ කාලගුණය

මේ දක්වා මෙම ක්‍රීඩාංගණයේ පැවති තරගවල දී කාසියේ වාසිය දිනා ගත් කණ්ඩායම් පළමුවෙන් පන්දුවට පහර දෙමින් වැඩි තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති අතර දෙපිලේ ම නායකයන් ද ඒ අනුව යමින් එහි වාසිය ලබා ගනු නියතයි.

එහෙත් මේ දිනවල මෙරට සේ ම එරට ද පවතින්නේ වැසි සහිත කාලගුණ තත්ත්වයක්. එරට කාලගුණ වාර්තා දැක්වෙන්නේ තරගය පැවැත්වෙන හෙට සවස් වරුවේ දී Hobart අවට ප්‍රදේශයට යම් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි.

එම තත්ත්වය හෙට තරගයට බාධාවක් වුවහොත් එය දෙපිලට ම අවාසි සහගත ආරම්භයක් විය හැකියි.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සමඟ  රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<