අයිස්ලන්තයේ ක්‍රිකට් මුල්පුටු ශ්‍රී ලාංකිකයන්ට!

335

අයිස්ලන්තයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයකට ශ්‍රී ලාංකිකයෙකු පත්ව තිබෙනවා. ඔහු නමින් ලක්මාල් බණ්ඩාරයි.

ඔහු 2021 සහ 2022 තරග වාරය සඳහා අයිස්ලන්තය කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිතයි. ලක්මාල් බණ්ඩාර සහ ඔහුගේ සහෝදරයා වන දුශාන් බණ්ඩාර කලක සිට අයිස්ලන්ත කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක්.

අයිස්ලන්තය තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් වරම් දිනාගෙන නොමැති අතර ඔවුන් සිය පළමු නිල නොවන තරගය සඳහා 2018 වසරේ දී සහභාගී වුනා. 

අයිස්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වූ Ragnar Kristinsson 2008 වසරේ දී විශ්‍රාම ගැනීමත් සමඟින් එරට ක්‍රිකට් ආයතනය සෑම වසර දෙකකටම වරක් සිය නායකයා වෙනස්කිරීම අනිවාර්ය කරමින් නීතියක් සම්පාදනය කර තිබුණා. ඒ අනුව නව නායකයා වන ලක්මාල් බණ්ඩාර අයිස්ලන්තයේ අටවැනි නායකයා ය.

මීට පෙර අයිස්ලන්ත නායකත්වය Nolan Williams හට හිමිව තිබූ අතර ලක්මාල් එහි උපනායකයා ලෙස කටයුතු කළා. Nolan Williamsගේ කාලය අයිස්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට එතරම් සුබදායි නොවූ අතර කොරෝනා වයිරසය නිසා ඔවුන් සහභාගී වීමට සැලසුම් කර තිබූ තරගාවලි කීපයක් අවලංගු වුනා. 

ලක්මාල් බණ්ඩාර නව නායකයා ලෙස පත්වීම පිළිබඳව හිටපු නායකයා වන Nolan Williams අදහස් දක්වා තිබුණා.

“ලක්මාල් කියන්නේ හොඳ තේරීමක්. මම විශ්වාස කරනවා ඔහු හොඳ නායකයෙකු වේවි කියලා. ඔහුට නියම අවස්ථාවක් ලැබුනොත් ඔහු දස්කම් දක්වාවි. නායකත්වයේ වගකීම් ඔහුව සාර්ථක ක්‍රීඩකයෙක් කරාවි කියලා මම හිතනවා.” 

2015 වසරේ දී අයිස්ලන්ත දේශීය කණ්ඩායමක් වන Kópavogur කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි අතර 2016 වසරේ දී අයිස්ලන්ත ජාතික කණ්ඩායමට පිවිසියා. 

2018 වසරේ දී Reykjavík කණ්ඩායමට එක්වන ලක්මාල් බණ්ඩාර එහි දී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. එම වසරේ දී ම කණ්ඩායමේ උපනායකයා වන ඔහු 2019 වසරේ දී කණ්ඩායමේ නායකත්වයකට පත්වුනා. Reykjavík නායකයා ලෙස ඔහු තරග 11ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 6ක ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුනා. 

Nolan Williamsගේ නායකත්වය යටතේ උපනායකයා වූ ලක්මාල් අවස්ථා කීපයක දී ම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා. 

“මම මගේ කණ්ඩායම එක්ක දැන් ගොඩක් කල් ඉඳන් කටයුතු කරන්නේ. මම නායකයා විදිහට කීපවරක් කටයුතු කළා. හැමෝම ඔවුන්ගේ හැකියාවන් දියුණු කරගෙන තියනවා කියලා මම හිතනවා. මීට වසර දෙකකට කලින් අපි ඉහල මට්ටමේ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළා. ඒත් දැන් වසර කීපයක් අපි ජාත්‍යන්තර තරගවලින් ඈත්වෙලා ඉන්නේ. මම බලාගෙන ඉන්නවා ක්‍රීඩා කරන්න. අයිස්ලන්තයට හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා” ලක්මාල් බණ්ඩාර අදහස් දක්වමින් පවසා තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්

නව නායකයා පිළිබඳව කණ්ඩායමේ පුහුණුකරු වන Ihtisham-ul-Haqද අදහස් දක්වා සිටියා. 

“මම සතුටට පත්වෙනවා ලක්මාල් නායකයා වීම ගැන. ඔහු ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු තරග ජයග්‍රහණය කරන්න ආසාවෙන් ඉන්න ක්‍රීඩකයෙක්. මම ඔහුව විශිෂ්ට නායකයෙක් විදිහට දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.” 

මේ අතර අයිස්ලන්ත ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයා ලෙස සඳුන් ලංකාතිලක මහතා පත්ව තිබෙනවා.

ඔහුගේ පත්වීමත් සමඟින් ලක්මාල් බණ්ඩාරගේ සහෝදරයා වන දුශාන් බණ්ඩාර Reykjavík Vikings නායකත්වයකට පත්කර තිබෙනවා. 

සිය සහෝදරයාගේ අඩිපාරේ යමින් 2015 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන දුශාන් බණ්ඩාර අයිස්ලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රබලතම ක්‍රීඩකයෙක් වී අවසන්. තරග 73ක දී ලකුණු 2300ක් වාර්තා කර ඇති ඔහුගේ සාමාන්‍යය 42.59ක්. කඩුලු 71ක් ද ඔහුගේ නම ඉදිරියේ සටහන් වී තිබෙනවා. 

අයිස්ලන්ත නව ක්‍රිකට් නායකයා වන ලක්මාල් බණ්ඩාර හට ද, අයිස්ලන්ත ක්‍රිකට් ආයතනයේ නව උපසභාපති වන සඳුන් ලංකාතිලක මහතාට මෙන්ම Reykjavík කණ්ඩායමේ නව නායකයා වන දුශාන් බණ්ඩාර හට ThePapare.com උණුසුම් සුබ පැතුම්.

Iceland Cricket නිල වෙබ් අඩවිය ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<