Pietersenට කේන්ති ගිහින්!

The Ashes 2023

2563

2023 අළුබඳුන තරගාවලිය ආරම්භ වීමත් සමඟින් හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Kevin Pietersen විසින් වරින් වර ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් දවසේ මාතෘකාව බවට පත් වීමට සමත් වන බව මීට පෙර සිට ම දකින්නට ලැබුණා.

එංගලන්තයේ ලෝඩ්ස් හිදි ඊයේ (28) ආරම්භ වූ අළුබඳුන දෙවන තරගයේ දී ද Pietersen විසින් නැවත වරක් පුවත් සිරස්තලයක් බවට පත් වීමට සමත් වුනේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තරමක් තදින් විවේචනය කිරීමත් සමඟයි.

ඊයේ දිනයේ තරගයේ දෙවැනි සැසිය නිමා වීමෙන් පසුව තරග විස්තර විචාරකයෙකු ලෙස පිටියට පිවිසුණු Pietersen විසින් තරගයේ එතෙක් එංගලන්ත පන්දු යවන්නන් විසින් පන්දු යැවූ ආකාරය සහ ක්‍රීඩකයින්ගේ හැසිරීම් රටා දරුණු ලෙස විවේචනය කිරීමට පටන් ගත්තා.

“එය ව්‍යාකුලයි, ඇත්තටම ව්‍යාකුලයි. ඔබට හොඳ වාතාවරණයක් තියෙනවා. (ක්‍රීඩා පිටියේ තත්වය), ඔබේ පන්දු යවන්නන්ට ගැළපෙන කඩුල්ලක් තියෙනවා. පැයට කිලෝමීටර 78,79, 80 වගේ වේග වලින් පන්දු යවන පන්දු යවන්නන් ඉන්නවා.”

නමුත් ඔවුන් (එංගලන්ත පන්දු යවන්නන්) එම වාසිදායක වාතාවරණයෙන් ප්‍රයෝජන ලබා නොගත් බවයි Pietersen විසින් සඳහන් කරන්නේ. ඒ මොහොත වන විට පන්දුවාර 50ක් ක්‍රීඩා කර සිටි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් විසින් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 190ක් ලබා ගැනීමට සමත් වී තිබුණා.

“මේ අළුබඳුන නෙවෙයි. මම අළුබඳුන ක්‍රීඩා කර තිබෙනවා. මම ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග 30ක් ක්‍රීඩා කර තිබෙනවා. එංගලන්ත පන්දු යවන්නන් පිටියට එන්න කලින් (තරගය ආරම්භ කරන විට) ඕස්ට්‍රේලියානු පිතිකරුවන් එළියට ආවා.

‘අපට ඕස්ට්‍රේලියාවට පන්දු යැවීමට අවශ්‍යයි, අපි පන්දු යැවීමට බලා ගෙන ඉන්නවා.’ යැයි කියමින් එංගලන්ත පන්දු යවන්නනුයි අද උදෑසන මේ පඩිපෙළේ සිටිය යුතු ව තිබුණේ.

නමුත් මේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනා එළියට ඇවිත් පන්දු යවන්නන් එනකම් බලා ගෙන හිටියා. ඔවුන් තමයි හරි නම් අපිට පිතිකරණයට යන්න අවශ්‍ය නැහැ කියලා ක්‍රීඩාගාරයට වෙලා සිටිය යුතු.”

තරගය ආරම්භ වන අවස්ථාවේ එංගලන්ත පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පසුව ක්‍රීඩාගාරයෙන් එළියට පැමිණීම පවා Pietersenගේ කනස්සල්ලට හේතු වී තිබුණා.

එමෙන්ම තරගය ආරම්භ වී මොහොතකට පසුව Just Stop Oil පරිසරය ක්‍රියාකාරීන්ගෙන් තරගයට එල්ල වූ බාධා නිසා තරගය මොහොතකට නතර කර තැබීමට සිදු වුනා. ඒ මොහොතේ David Warner සහ Stuart Broad විසින් සුහද කතා බහක නිරත ව සිටින අයුරු ද දකින්නට ලැබුණා. එම සිදුවීම සහ තවත් එවැනි සුහදශීලී හැසිරීම් පවා මෙහි දී Pietersenගේ අප්‍රසාදයට ලක් වුනා.

“හැමදේම හරි පහසුයි. හැමෝම හරි හොඳයි. ඔබ මට කියන්නේ 2005 දී Ricky Ponting, Geraint Jones සමඟ කතා කරාවි කියලා ද?

ඔබ හිතන්නේ Michael Vaughan, Justin Langer අසල හිට ගෙන ‘හේයි මිත්‍රයා, මොන තරම් සිසිල් දවසක් ද, අහස වලාකුළින් වැහිලා ගිහිල්ලා. ඒක හරිම ලස්සනයි. මොන තරම් අපූරු දවසක් ද?

මම කියන්නේ මෙහේ ලෝඩ්ස් වල පරිසරය ගැන. ඔබ කඩුල්ල ගැන මොකද හිතන්නේ? ‘ කියලා කියාවි කියලා ද?

ඔබ විහිළු කරනවා ද, ඇත්තටම ඔබ විහිළු කරනවා ද?”

2005 වසරේ දී පැවැත්වුණු අළුබඳුන ක්‍රිකට් තරගාවලිය මෙතෙක් ඉතිහාසයේ පැවැත්වුණු තියුණු ම අළුබඳුන තරගාවලියක් ලෙස පිළිගැනීමට ලක් වෙනවා. එම තරගාවලියේ සහ තමන්ගේ කාලයේ ක්‍රීඩකයින් අතර මීට වඩා තරගකාරී බවත් තිබූ බවයි Pietersen විසින් සඳහන් කිරීමට උත්සාහ ගන්නේ. නමුත් දැන් දෙපිළේ ක්‍රීඩකයින් ඉතා සුහද ව හැසිරීම Pietersenට එතරම් සතුටක් ගෙන දෙන්නේ නැහැ.

එමෙන්ම පළමු අළුබඳුන තරගයේ පළමු දිනයේ දී ම සිය පළමු ඉනිම නිමා කිරීමට එංගලන්තය පියවර ගත් අතර එම තරගය පරාජය වීමට එය හේතුවක් වූ බවත් පිරිසකගේ අදහසක් වුනා. ඊයේ දිනයේ Pietersen විසින් ද ඒ හා සමාන අදහසක් දක්වමින් ප්‍රශ්න කලේ කළේ මේ තරගයේ දී ඕස්ට්‍රේලියාව විසින් එවැනි තීරණයක් ගනීවි ද යන්නයි.

“ඔබ හිතන්නේ ඕස්ට්‍රේලියාව අද ඉනිම අත්හිටුවාවී කියල ද? ඔබ හිතන්නේ ඕස්ට්‍රේලියාව අද ලකුණු 390ක් ලබා ගෙන එංගලන්තයට පිතිකරණයේ යෙදෙන්න ඉඩ ලබා දේවී කියල ද?”

එවන් වාතාවරණයක් වෙනුවෙන් කිසිදු ඉඩක් නොමැති බව සහ එංගලන්තය පන්දු යවන්නන් විසින් මීට වඩා කඩුලු දවා ගැනීම වෙනුවෙන් උත්සාහ ගත යුතු බව ද Pietersen විසින් එහි දී සඳහන් කළා.

මේ මොහොතේ දී Pietersen සමග Eoin Morgan සහ Ian Ward යන දෙදෙනා ද විස්තර විචාරයේ යෙදෙමින් සිටි අතර Ian Ward විසින් අතීතයේ Kevin Pietersenගේ නම ඈඳුණු සිදුවීමක් (Text-gate සිදුවීම*) මතක් කිරීමට උත්සාහ ගත්තා.

“ඔබට විරුද්ධ පාර්ශවය සමඟ ඕනවට වඩා මිත්‍ර වෙන්න බැහැ, ඔබට පුළුවන් ද Kev?”

*. 2012 වසරේ දී දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් අතරතුර එවකට එංගලන්ත නායක Andrew Straussව දවා ගැනීමට උපකාර වන අන්දමේ යම් ඉඟි කිහිපයක් දකුණු අප්‍රිකාව වෙත ලබා දුන් බවට Kevin Pietersen හට චෝදනා එල්ල වුනා. මෙම සිදුවීම Kevin Pietersenගේ ක්‍රීඩා ජීවිතයට කණ කොකා හැඬීමට ද හේතු වූ බවයි විශ්වාස කරන්නේ.

නමුත් wardගේ ප්‍රකාශයට එක එල්ලේ පිළිතුරු ලබා නොදුන් Pietersen විසින් නැවතත් තමන් තරගය පිළිබඳ පළ කළ අදහස් වලට අවධාන යොමු කිරීමට උත්සාහ ගත්තා.

කෙසේ වෙතත් Pietersenගේ මෙම විවේචනයෙන් පසුව ආරම්භ වූ තරගයේ තෙවැනි සැසියේ දී ඕස්ට්‍රේලියානු ඉනිමේ තවත් කඩුලු 3ක් බිඳ හෙළීමට එංගලන්ත පන්දු යවන්නන් විසින් සමත් වුනා.

මේ අතර අද උදෑසන (29) සිය නිල Twitter ගිණුම තුල ප්‍රකාශයක් සටහන් කළ Pietersen විසින් සඳහන් කර  තිබුණේ මෙය අළුබඳුන තරගාවලිය මිස ප්‍රදර්ශනාත්මක තරගයක් නොවන නිසා එතරම් මිත්‍ර වීමට උත්සාහ නොකර ඕස්ට්‍රේලියාවේ ඉතිරි කඩුලු 5 දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයින් විසින් උත්සාහ කළ යුතු බවයි.

2023 අළුබඳුන තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<