ජාත්‍යන්තර බොක්සිං තාක්ෂණික බලධරයෙකු ලෙස හේමන්ත පත්වෙයි

141

ශ්‍රී ලංකා ජාතික බොක්සිං ශූරයෙකු සහ බොක්සිං සංගමයේ හිටපු ලේකම්වරයෙකු වන හේමන්ත වීරසිංහ මහතා ජාත්‍යන්තර බොක්සිං සංගමයේ තාක්ෂණික බලධාරි තනතුරට තේරී පත්වී තිබෙනවා.

එය ඓතිහාසික අවස්ථාවක් වන්නේ එවැනි තනතුරකට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහු වීම නිසයි. ජාත්‍යන්තර බොක්සිං සංගමයේ තාක්ෂණික බලධාරි පුහුණුව අවසන් කරමින් ඔහු එම වටිනා අවස්ථාව උදාකරගත්තා.

2003 වසරේ දී ඔහු ජාත්‍යන්තර බොක්සිං විනිසුරුවරයෙකු ලෙස පත්වුනා. 2013 දී ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරියෙකු ලෙස ක්‍රියා කිරීමට ද ඔහුට හැකි වුනා. ජාත්‍යන්තර තරගාවලි රැසක දී ඔහුගේ සේවය බොක්සිං ක්‍රීඩාවට ලැබුණා. ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, ගිනිකොණදිග ආසියානු ක්‍රීඩා උළෙල එවැනි තරගාවලි කිහිපයක්.

ඊට අමතරව ආසියානු බොක්සිං සංගමයේ විනිසුරුවන් සහ විනිශ්චයකරුවන්ගේ කමිටුවේ ලේකම්වරයෙකු ලෙස ද ඔහු සේවය කළා. 1984 ස්ටබ්ස් පලිහ තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා වූ ඔහු පොදුරද මඩුලු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ද වුනා.

තරගාවලි රැසක දී ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ කළමනාකරු ලෙස ද සේවය කොට ඇති හේමන්ත වීරසිංහට, නව තනතුර ගැන ThePapare.com වෙතින් සුබ පැතුම්!

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<